කාල් මාක්‌ස්‌ දාර්ශනිකයකුද? ප්‍රති දර්ශනිකයකුද?

[dropcap]ප[/dropcap]ළමු වරට ශ්‍රමය මත පදනම් වෙමින් මිනිස්‌ සමාජයේ ජීවනාලිය වූ සංකල්පය යොදාගෙන දර්ශනවාදය ඉදිරිපත් කරමින් පෙරදිග හා අපරදිග චින්තන සම්ප්‍රදාය තුළ ඉතිහාසය භෞතික ස්‌වරූපයෙන් විග්‍රහ කිරීම පළමු වැනි දාර්ශනිකයා වූ ඔහු සැබවින්ම ප්‍රති දාර්ශනිකයෙකි.


ජගත් බන්දුල සිරිවර්ධන
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

කාල් මාක්‌ස්‌ නම් බුද්ධිමත් චින්තකයා දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වන්නේද? සුවිශේෂී වන්නේද? නැතිනම් ගතානුගතික දාර්ශනික ගමන් මාවතේම ඉදිරියට යනු ලබන්නේද? යන්න විග්‍රහයක යෙදීම මෙම ලිපියේ අරමුණයි.

ජර්මනියේ ට්‍රයර් නමැති නගරයේ ක්‍රි.ව. 1818 මැයි මස 05 වැනි දින ජන්මය ලබන කාල් මාක්‌ස්‌ ජර්මනියේ ක්‍රි.ව. 1818-1883 අතර කාලය නියෝජනය කරන සුවිශේෂම දාර්ශනිකයාය.

ජර්මන් ජාතික කාල් මාක්‌ස්‌ බෝන් සහ බර්ලින් යන විශ්වවිද්‍යාල තුළද නීතිය හදාරමින් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන අතර එහි කාලීන රුචිකත්වය මත දර්ශනය වෙතට හැරෙමින්, දර්ශනය පිළිබඳ අධ්‍යාපන කටයුතුවල නිරතවීමක්‌ දක්‌නට ලැබේ. එකල දාර්ශනිකමය විලාසිතාවක්‌ වූ හෙගලියානු දාර්ශනික ප්‍රවේශය ගැඹුරින් අධ්‍යයනය කරන මාක්‌ස්‌ ඉන් අනතුරුව තම ස්‌වාධීන වූ මතවාදයන්ට ප්‍රවේශ වන අයුරු දැකගත හැකිය. යුගයේ ප්‍රචලිතව පැවැති සෑම ක්‍ෂේත්‍රයක්‌ පිළිබඳවම ගැඹුරු අධ්‍යයනයක නිරත වෙමින් ගවේෂණශීලී වන මාක්‌ස්‌ දාර්ශනිකයකු වශයෙන් පමණක්‌ ලඝූකර දැක්‌වීමට අපහසුය. මන්ද දාර්ශනිකයකු ලෙස පමණක්‌ නොව තවත් ක්‍ෂේත්‍ර ගණනාවක්‌ පුරාවට විහිදුණු මතවාද රාශියක්‌ මොහු ඉදිරිපත් කිරීම නිසාය. එහිදී ආර්ථික ශාස්‌ත්‍රඥයකු, අනාගත වෘක්‌තෘවරයකු, සමාජ විශ්ලේෂකයකු, චින්තකයකු, ඉතිහාසඥයකු ලෙස මොහු අගය කළ හැකිය. මෙලෙස පන්නරය ලබන කාල් මාක්‌ස්‌ සියලු අංශයන්ගේ දැනුම පූර්ණ විශ්ලේෂණයකට නතුකරමින් සමාජයට ඔහුගේ කෘති හරහාද දැනුම දායාද කර තිබේ. මේවා අතරින් කිහිපයක්‌ ගෙන බැලීමේදී ඒවා සුවිශේෂත්වයක්‌ ගනු ලබයි.

Economic and philosophical mansuscripts of – 1844

The German ideology – 1845

The poverty of philosophy – 1846

The manfesto of the communist party – 1847

The Grundrisse – 1857

A contribution to the critique of political

economy – 1859

Theories of surplus volue – 1861

Critique of Gotha Programme – 1875

The capital (vol:1) – 1867

The capital (vol:2) – 1885

The capital (vol:3) – 1894

යනාදී ලෙස සුවිශේෂීය විප්ලවීය අදහස්‌ රැගෙන එන ග්‍රන්ථකරණයක නියෑළෙමින් ශාස්‌ත්‍රීය ලෝකය තුළ නොමැකෙන සටහන් තැබීමට කාල් මාක්‌ස්‌ සමත් විය. “දාර්ශනිකයන් විසින් මෙතෙක්‌ කර ඇත්තේ ලෝකය විස්‌තර කිරීමයි. එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස්‌ කිරීමයි” යන්න පෙරදැරි කරගෙන කාල් මාක්‌ස්‌ තම දාර්ශනික ප්‍රවාහය වැඩි ප්‍රායෝගිකත්වයක්‌ ඔස්‌සේ ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය මනා ලෙස අපට පෙනෙන්නට දකින්නට තිබේ. එවකට රජයමින් තිබූ විඥනවාදී දාර්ශනිකත්වයෙන් මිදෙන මාක්‌ස්‌ දර්ශනය සහ අනෙකුත් චින්තාමයම පද්ධතියන් එක්‌ කරමින් න්‍යායට පමණක්‌ සීමා නොවී ප්‍රායෝගිකත්වයට මුළුතැන දීමට සුවිශේෂ උත්සාහයක්‌ ගත්තෙකි.

මාක්‌ස්‌ ජීවත් වූ සමාජ ක්‍රමයේ පැවතියාවූ ආර්ථික අවපාතය පෙරදැරි කරගෙන මනුෂ්‍යත්වය මත සානුකම්පිත දෘෂ්ටියක්‌ හෙළමින් යථාර්ථවාදී භෞතික දර්ශනයක්‌ මත පදනම් වෙමින් ආර්ථික විෂමතාවයෙන් තොර වූ සමආර්ථික ක්‍රමයක්‌ සමාජයක්‌ බිහිකර ගැනීමේ හා බිහිකර දීමේ උදාර ෙච්තනාවෙන් තම මුළු ජීවිත කාලයම කැප කරන අයුරු දක්‌නට ලැබේ.

එසේම මාක්‌ස්‌, ජොප් හෙගල්ගේ අදේවවාදී ද්වන්තවේදය හා ෆෙඩ්රිච් ෆොයබාක්‌ගේ ද්‍රව්‍යවාදී අදහස්‌ තම විමර්ශනයට ගොනු කළ අතර මෙයට ෆෙඩ්රික්‌ එංගල්ස්‌ගේද සහයෝගය ලැබිණි. එසේම මාක්‌ස්‌ විඥනවාදී ඉන්දීය ආනුභූතිවාදයත්, භාෂාමය විමර්ශනයත් බැහැර කරමින් භෞතිකවාදී දාර්ශනික ප්‍රවාහය අගය කරනු ලබයි. මාක්‌ස්‌ මේ තුළ පිහිටා උත්සාහ කළේ සමාජවාදී ආර්ථික රටාවක්‌ ක්‍රියාත්මක කෙරෙන සමාජවාදී පාලනයක්‌ බිහිකිරීමෙන් මිනිසාට යම් ආකාරයක විමුක්‌තිදායකත්වයක්‌ තම දාර්ශනික සංකල්පය තුළින් ළඟාකර දීමටයි.

කාල් මාක්‌ස්‌ විශේෂයෙන්ම අවධානය යොමු කළ සුවිශේෂම අංගයක්‌ වූයේ මිනිසාගේ ශ්‍රමය පිළිබඳවයි. සමාජ ආර්ථික රටාව තුළ මාක්‌ස්‌ට දකින්නට ලැබුණු ප්‍රායෝගික ක්‍රියාදාමයක්‌ වූයේ මිනිසා විසින් තම ශ්‍රමය තුළින් නිපදවන භාණ්‌ඩයේ මුළු වටිනාකම නිපදවන පුද්ගලයාට නොලැබී යන අයුරුය.

මෙය පදනම් කරගෙන මාක්‌ස්‌ ආර්ථික ශාස්‌ත්‍රීය සම්බන්ධයෙන් ප්‍රවීණයන් වූ ඇඩම් ස්‌මිත්, ඩේවිඩ් රිකාඩෝ ආදීන්ගේ ධනවාදී ආර්ථික න්‍යායේ ලක්‍ෂණද ජෝ- විල්හෙල්ම්, හෙගල්, ලුඩ්විග් ෆොයබා ආදීන් ද ෂර්ලි ෆුරියේ, රොබට්‌ ඕවන් යනාදී දර්ශනිකයන්ගේ අදහස්‌ විවේචනයට නොදියුණුභාවයට ලක්‌ කරමින් මෙහි සත්‍ය පසක්‌ කරමින් නව දර්ශනවාදයක්‌ මිනිසාට දායාද කිරීමට උපරිම උත්සාහයක්‌ ගත්තේය.

කාල් මාක්‌ස්‌ දාර්ශනිකයකුද? ප්‍රති දර්ශනිකයකුද?

සාම්ප්‍රදායිකව ගමන් කරන සමාජ ක්‍රමය තුළ සාමාන්‍ය මිනිසා යමක්‌ දෙස බලන, සිතන ආකාරයෙන් වෙන්ස්‌ව ඉතාමත් ශික්‍ෂණ බුද්ධිය තුළින් ප්‍රඥව ජනනය කරමින්, සමාජයේ ඉතාම සුළු පිරිසක්‌ සාමාන්‍ය මිනිසාගේ දෘෂ්ටියෙන් ඈත්ව යමක්‌ දෙස ගවේෂණශීලීත්වයෙන් පසු ඒවා විස්‌තර කරමින් නවතම දැනුම් පද්ධතියක්‌ ලබාදෙයි. මෙලෙස සමාජය තුළට නව දැනුම් පද්ධතියක්‌ එක්‌කළ දාර්ශනිකයන් ගත්විට බටහිර ඉතිහාසය තුළ බොහෝ දාර්ශනිකයන් ප්‍රමාණයක්‌ ගෙනහැර දැක්‌විය හැකිය.

ක්‍රි.පූ. 06 වැනි සියවස තුළින් තර්කය, බුද්ධිය, ආනුභූතිය මත පදනම්ව නවතම මාර්ගයකට මිනිස්‌ චින්තනය ගෙනෙන ග්‍රීක දාර්ශනික තේල්ස්‌ගෙන් පසු ඒ ඒ කාල වකවානුව තුළ සිටි දාර්ශනිකයන් තම අභිමතය පරිදි තමන්ගේ සොයා ගැනීම් තුළින් නව චින්තන පද්ධතියක්‌ සමාජයට ඉදිරිපත් කරන අයුරු අපට ග්‍රීක, මධ්‍යතන, නූතන, සමකාලීන යනාදී දාර්ශනික සංස්‌ථා තුළින් පෙනී යන කරුණකි. මෙලෙස නව චින්තාමය පද්ධතීන් ගෙන ආ දාර්ශනිකයන් සුවිශේෂී කාර්යය භාරයක්‌ මෙම දාර්ශනික වූ ලෝකයට එක්‌කරන අයුරු අපට දකින්නට පුළුවනි. මෙලෙස අප ජීවත් වන මුළු මහත් විශ්වයටම නව අර්ථකථන එක්‌කළ දාර්ශනිකයන් අතරට එක්‌වන කාල් මාක්‌ස්‌ මෙම දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වන්නේද? සුවිශේෂී වන්නේද? නැතිනම් ගතානුගතික දාර්ශනික ගමන් මාවතේම ඉදිරියට යනු ලබන්නේද? යන්න අධ්‍යයනය කිරීම තුළින් මාක්‌ස්‌ පිළිබඳවත් ඔහුගේ දාර්ශනික පැතිකඩයන් පිළිබඳව අවබෝධකර ගත හැකිය.

කාල් මාක්‌ස්‌ දාර්ශනිකයකු, ආර්ථික විශ්ලේෂකයකු, ඉතිහාසඥයකු, සමාජ විශ්ලේෂකයකු, චින්තකයෙකු ලෙස විවිධ අංශයන්ට නව චින්තාවන් දායාද කරමින් සුවිශේෂී දාර්ශනික පද්ධති එක්‌ කරමින් නවතම විග්‍රහයන් තුළ නියළෙන ආකාරයක්‌ දැකගත හැකිය. නමුත් මේවායේ යම් සුවිශේෂත්වයක්‌ ගනු ඇතැයි මාක්‌ස්‌ගේ මෙම ප්‍රකාශයෙන් අපට පෙනී යයි. “දාර්ශනිකයන් විසින් මෙතෙක්‌ කර තිබුණේ ලෝකය විස්‌තර කිරීමයි. එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස්‌ කිරීමයි”.

යමක්‌ විස්‌තර කිරීමෙන් පරිබාහිරව යමක්‌ පූර්ණ කාලීන දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වීමට ගත් උත්සාහයක්‌ මාක්‌ස්‌ගේ මෙම ප්‍රකාශයන් තුළින් පැහැදිලි වේ. එසේ නම් මාක්‌ස්‌ දාර්ශනික ගතානුගතිකත්වයෙන් ඉවත් වුණි. දාර්ශනික වූ ගමනාන්තය පෝෂණ කරමින් ප්‍රති දාර්ශනික තත්ත්වය රඳවා ගනු ලබන්නේ කුමන ආකාරයෙන්ද? යන්න ඔහුගේ දාර්ශනික සංකල්පනා තුළින් පැහැදිලි කළ හැකිය. පූර්වකාලීන දාර්ශනිකයන් සිදුකර ඇත්තේ ලෝකය විස්‌තර කිරීමයි. එක්‌ එක්‌ වූ සිද්ධි මත පදනම්ව විඥනවාදී ප්‍රවේශයන් ඔස්‌සේද ලෝකයේ වස්‌තු සංසිද්ධීන් විස්‌තර කර දීමක්‌ සිදුකර දී තිබේ.

උදා- විශ්වයේ ආරම්භය කෙසේ සිදුවීද?

ග්‍රීක දාර්ශනික චින්තාව තුළ මෛලේසියානු ගුරුකුලය විසින් ස්‌වභාවික ද්‍රව්‍ය උපයෝගී කොටගෙන විස්‌තර කිරීමක්‌ සිදුකරයි.

‘තේල්ස්‌ – විශ්වය ආරම්භ වූයේ ජලයෙනි’

‘ඇනෙක්‌සිමැන්ඩර් – විශ්වයේ ආරම්භය සිදුවන්නේ වායුවෙනි’

මෙයින් ලබනපදනම් වාදය තුළ පිහිටා මෙයට විසඳුම් ගෙන ඒම සඳහා විස්‌තර කථන රාශියක්‌ ගෙන එයි. මධ්‍ය කාලීන දාර්ශනිකයන් විශ්වයේ ආරම්භය සිදුවන්නේ දෙවියන් වහන්සේගේ මැවීම තුළිනි.

මෙලෙස ලෝකය විස්‌තර කිරීමක යෙදී සිටි දාර්ශනිකයන්ගෙන් ඈත්වන මාක්‌ස්‌ එය වෙනස්‌ කිරීමට පෙළඹෙයි. ඔහු එය සිදුකරනු ලබන්නේ ඉතිහාසගත සමාජය නව ආකාරයට ගෙනහැර දක්‌වමින් ප්‍රායෝගික වූ ක්‍රියාවලියකට ප්‍රවේශ වීමේ ශිල්පීය ශාස්‌ත්‍රය, ප්‍රායෝගික වූ ක්‍රියාවලියක්‌ තුළින් ලෝකය වෙනස්‌ කිරීමට මුල පිරීමයි. මාක්‌ස්‌ ඓතිහාසික භෞතිකවාදය තුළින් එයට ප්‍රවේශ ගතවෙයි.

සමාජ ක්‍රමය විග්‍රහ කිරීම නොයෙකුත් දාර්ශනිකයන් විසින් කර තිබේ. නමුත් තර්කානුකූල පදනමක්‌ තුළින් මෙම ඓතිහාසික වූ සමාජ විකාශනය ගෙන හැර දක්‌වා තිබේ.

සමාජයේ පොහොසත් දුප්පත් නැතහොත් පාලක, පාලිත යන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සමාජයේ වර්තමාන යුගය දක්‌වා පරිණාමීය ක්‍රියාවලිය මාක්‌ස්‌ මෙසේ දක්‌වයි.

“සමාජයේ පන්ති ක්‍රමයේ විකාශනය ආර්ථික විෂමතාවයේ ප්‍රතිඵලයමත සිදුවේ”.

මාක්‌ස්‌ එය විග්‍රහාත්මකව මෙසේ දක්‌වා සිටී.

* ප්‍රාග් කොමියුනිස්‌ට්‌ යුගය

* වහල් යුගය

* වැඩවසම් යුගය

* ධනවාදී යුගය

* සමාජවාදී යුගය

* පූර්ණ කොමියුනිස්‌ට්‌ යුගය

මෙලෙස ඓතිහාසික භෞතිකවාදය මත විග්‍රහයක යෙදෙන මාක්‌ස්‌ මිනිසාට දැනෙන ප්‍රායෝගික වූ සංකල්පනාවක්‌ මේ තුළ ඇති බව විග්‍රහාත්මකව පෙන්වා දෙමින් එයින් මිදී මිනිසාගේ පොදු මුළු මහත් සමාජයක්‌ සුබ සිද්ධියට පත්කර ගන්නා අයුරු සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද දක්‌වයි. මේ තුළ මාක්‌ස්‌ බලාපොරොත්තු වන ප්‍රධානම සාධකය වන්නේ පොදු මුළු මහත් සමාජයේම සුබ සිද්ධිය සාක්‍ෂාත් කර ගැනීමයි. එනම් සමාජයේ මිනිසා විඳි දුක්‌ත තත්ත්වයෙන් මුදවා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සුවිශේෂී වූ දාර්ශනිකයකු බවට පත්වීමට උත්සාහ දරයි.

මේ එක්‌ එක්‌ අවධීන් දීර්ඝව විස්‌තර කථනයට ලක්‌කරන මාක්‌ස්‌ එම සෑම යුගයකටම පදනම් වන

* නිෂ්පාදන මාධ්‍ය

* නිෂ්පාදන ක්‍රියාමාර්ග හෙවත් විධික්‍රම

* නිෂ්පාදන සම්බන්ධතා

යනාදී ආර්ථික සංකල්පනා මත පදනම්ව සමාජයේ පරිණාමීය ක්‍රියාවලිය දක්‌වමින් මෙම පවතින ක්‍රමයෙන් මිදී ‘විප්ලවය’ තුළින් පොදු සමාජයේ පූර්ණත්වයට පත්කර ගන්නා ආකාරය දක්‌වා සිටී. එමෙන්ම මෙම සියල්ලෙහිම කේන්ද්‍රීය ලක්‍ෂණය වන ආර්ථික සාධකය මත මුළු මහත් සමාජ ක්‍රමයම විස්‌තර කර දක්‌වා තිබේ.

“සමකාලීන චින්තකයන් ඉතිහාසය පිළිබඳ සඳහන් කරමින් සමාජ විග්‍රහය ආරම්භ කර තිබේ. නමුත් එයින් සිදුවන්නේ සමාජය අපැහැදිලි අඳුරු අතීතයකට කැන්දාගෙන යැම පමණි. එමනිසා සමාජ විග්‍රහය ආරම්භ කළ යුත්තේ සමකාලීන ආර්ථික සාධකවලට මුල්තැන දෙමිනි.”

ආර්ථික සාධක මුල්කරගෙන සමාජයේ ප්‍රායෝගික පැතිකඩ මාක්‌ස්‌ මේ ආකාරයට විග්‍රහ කර දක්‌වයි. මාක්‌ස්‌ දක්‌වන ආකාරයට සමාජයේ පදනම වන්නේ නිෂ්පාදන ක්‍රියාවකියයි. එය අධෝ ව්‍යුහය ලෙස දක්‌වයි. අනිකුත් සියලුම ක්‍රියාවලි උපරි ව්‍යුහය ලෙස ඔහු විග්‍රහ කරයි. මෙම් අධෝ ව්‍යුහය වන නිෂ්පාදන ක්‍රියාවලිය. ආර්ථිකය මත පිහිටා සමාජයේ අනිකුත් සියලුම සාධක හැඩගැසී පවතී. මෙම නිසා මිනිස්‌ සුබ සිද්ධියට හේතු වන උපරි ව්‍යුහය ගොඩනගා ගැනීමට නම් එයට පදනම සපයන අධෝ ව්‍යුහය ඊට ගැළපෙන ආකාරයෙන් සකසා ගත යුතු බව මාක්‌ස්‌ දක්‌වයි. මේ තුළින් සමාජය නව මාවතකට ප්‍රවේශ කළ හැකි බව ඔහු දක්‌වා සිටී.

සමාජය සැබෑ වෙනසකට ලක්‌කිරීමට නම් මෙම ව්‍යුහයන්ගේ වෙනස සිදුකළ යුතු බව දක්‌වමින් එය වෙනස්‌ කිරීමේ ක්‍රියාවලියද කාල් මාක්‌ස්‌ ඉතා සරලව උදාහරණ ගෙන එමින් මිනිසාට තේරුම් කරදෙනු ලැබේ.

කාල් මාක්‌ස්‌ මෙමඟින් උත්සාහ කරනු ලබන්නේ ලෝකය විස්‌තර කිරීම නොව ලෝකය වෙනස්‌ කරමින් නවතම දාර්ශනික ප්‍රවාහයක්‌ ලෝකය තුළ ජනති කිරීමටයි. පූර්ව කාලීන දාර්ශනිකයන් බොහෝවිට පදනම් වූයේ පාරභෞතිකවාදය, ලෝක විභාගය. ඥන විභාගය, සදාචාරය යනාදී අංශයන් තුළය. නව කරුණු සොයමින් විස්‌තරාත්මකව නවතම ඥන පද්ධතීන් සමාජ ගත කිරීම පූර්ණකාලීන දාර්ශනිකයන් අතින් සිදුවිය. කාල් මාක්‌ස්‌ මෙම දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ විය. න්‍යායාචාරයට සීමා නොවී ප්‍රායෝගික අංශය තුළින් නව විසඳුම් ගෙන ඒම තුළ මාක්‌ස්‌ දාර්ශනිකයන් තුළ ප්‍රති දාර්ශනිකයකු බවට පත්වන අයුරු දක්‌නට ලැබේ.

අනෙක්‌ අතට කාල් මාක්‌ස්‌ ඉතිහාසය විස්‌තර කරන්නේ විඥනවාදී පදනමක්‌ මත නොව භෞතිකවාදී සිද්ධාන්තය තුළ පිහිටාය. කාල් මාක්‌ස්‌ මිනිස්‌ සුබසිද්ධිය සාක්‍ෂාත් කිරීම සඳහා ගත් උත්සාහය තුළ නිතරම මිනිසාට දැනෙන ප්‍රායෝගික යමක්‌ ඉදිරිපත් කිරීමට දැඩි පරිශ්‍රමයක්‌ ගත්තේය. එසේ මාක්‌ස්‌ මිනිසාට එදිනෙදා ජීවිතයට දැනෙන, විඳින ගැටලු මුල් කරගෙන දාර්ශනික අර්ථ එක්‌කිරීම සෙසු දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වීමේ සුවිශේෂීම ලක්‍ෂණය වේ.

රාජ්‍ය සංකල්පය පිළිබඳ මාක්‌ස්‌ දක්‌වන විග්‍රහය සමාජ ක්‍රමයට නමතම ප්‍රවේශයක්‌ විය. එසේම එය සාමාන්‍ය වූ මිනිසාට පිළිගත හැකි වාස්‌තවික වූ දෙයක්‌ බවටද පත්ව තිබීම මත නවතම දාර්ශනික අදහසක්‌ බවට පත් වේ. ග්‍රීක, මධ්‍යතන, නූතන යනාදී ලෙස විස්‌තර කළ ඒකාකාරී වූ රාජ්‍ය සංස්‌ථාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්‌ වූ අර්ථයකින් රාජ්‍ය සංකල්පය විස්‌තර කිරීම තුළ මාක්‌ස්‌ ප්‍රති දාර්ශනිකයකු බවටද පත්වන බව කීම නිවැරදි වේ.

කාල් මාක්‌ස්‌ නව දාර්ශනික සංකල්පනා අතර තවත් සංකල්පයක්‌ වන්නේ ආගම පිළිබඳ අදහසයි. මෙම ආගම පිළිබඳ අදහසට අවධානය යොමු කිරීමේදී මාක්‌ස්‌ට පූර්ණ සිටි දාර්ශනිකයන්ගේ අති බහුතරයක්‌ මෙම ආගම පිළිබඳ අදහස ඉදිරිපත් කළ අතර ඒවා මාක්‌ස්‌ දක්‌වන අදහසින් සම්පූර්ණයෙන්ම වෙනස්‌ අදහසක්‌ ගනු ලබයි. ග්‍රීක යුගය වෙතට අවධානය යොමු කිරීමේ දී මෙම කාලවකවානුවට සාපේක්‍ෂව ආගම් පිළිබඳ මතවාදය දැඩි ලෙස ඉස්‌මතු වන ආකාරයක්‌ මධ්‍යකාලීන යුගය තුළින් දැකගත හැකිය. මාධ්‍යකාලීන යුගය තුළ දාර්ශනිකයා හා ආගමික පූජකවරයාගේ කාර්ය භාර්යයේ වෙනසක්‌ නොපැවති අතර ආගම සමාජයේ සෑම ක්‍ෂේත්‍රයකම අවශ්‍යතාවය ප්‍රධාන බලවේගය බවට පත්විය. විශ්වාසය, භක්‌තිය මත පදනම්ව මිනිසාගේ වර්තමාන, අනාගත සියලු පැතිකඩයන් විදහා දැක්‌විණි. මෙම ආගම් තුළ දාර්ශනික අර්ථ යටපත් කළ පූජකවරුන් අතර ශාන්ත ඔගස්‌ටින්, ශාන්ත ඇන්සලම්, ශාන්ත තෝමස්‌ ඇකවයිනාස්‌ සුවිශේෂී වේ.

කාල් මාක්‌ස්‌ ආගම පිළිබඳ අදහස්‌ තුළින් මෙම පූර්ව කාලීන දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වී සුවිශේෂී අරමුණක්‌ වන මිනිසාගේ ප්‍රායෝගිකත්වය වෙනුවෙන් මෙහි තිබෙන සත්‍ය ස්‌වභාවය හෙළිදරව් කිරීමට උත්සාහ දරයි. මාක්‌ස්‌ ආගම පිළිබඳ විස්‌තර කිරීමේදී පරත්වාරෝපණ සංකල්පය උපයෝගී කොට ගෙන තිබේ. මේ පිළිබඳව දීර්ඝව කරුණු ගෙනෙන කාල් මාක්‌ස්‌, “මිනිසාට තමාට තේරුම් කළ නොහැකි දේවල් විස්‌තර කිරීමේදී ආගමික මතවාද අවශ්‍ය කරගනී”. යනුවෙන් දක්‌වා සිටී.

ආගම වූ කලී ඉබේ ඇති වූවක්‌ නොව මිනිසා විසින් නිර්මාණ්‍ය කළ දෙයක්‌ බව මාක්‌ස්‌ දක්‌වා සිටී. එසේම මිනිසා ආගම නිර්මාණය කළත් එය මිනිසාගේ පාලනයෙන් ඔබ්බට ගොස්‌ මිනිසා කෙරේ බලපාන දෙයක්‌ බවට අවසානයේ පත්වන බවට මාක්‌ස්‌ දක්‌වයි. මිනිසා ආගම මගීන් ආරක්‍ෂාව, ශාන්තිය, ආශිර්වාදය ලබා ගැනීමට පෙළඹෙන අතර මිනිසා මෙමඟින් සිදුකරන්නේ තමන් සතු බලය ආගමට ලබා දී තමා ළඟ තිබෙන නිර්මාණශීලීත්වය, විප්ලවීය ශක්‌තිය මොට කරගන්නා බවයි. එමනිසා ආගම තුළින් සිදුකරන්නේ පවතින තත්ත්වය වෙනස්‌ කිරීමක්‌ නොව මිනිසාගේ ජීවිතය දිශානති ගත කිරීමයි. එනිසා ‘ආගම අබිං’ ලෙස දක්‌වන මාක්‌ස්‌ වැඩිදුරටත් මෙලෙස දක්‌වයි.

“මිනිසා ආගම නිර්මාණය කළද ආගම මගීන් මිනිසා නිර්මාණය නොකරයි”.

මෙලෙස දක්‌වා සිටින මාක්‌ස්‌ ආගම පිළිබඳ පූර්ව කාලීන අදහස්‌ දැක්‌වූ දාර්ශනිකයන්ගේ මතවාද විප්ලවීය වූ වෙනසකට භාජනය කරමින් තම ප්‍රායෝගික වූ මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා ආගම හේතු නොවන බව දක්‌වමින් සුවිශේෂී අර්ථයන් ඉදිරිපත් කිරීම තුළද ගතානුගතික දාර්ශනිකයන්ගෙන් වියුක්‌ත වන බව අපට කිව හැකිය.

“ආගම වූ කලී එක්‌තරා විදිහක අධ්‍යාත්මික මත්වීමක්‌ වැන්න. ඒ නිසා ආගම පුද්ගලයාගේ අබිංය.”

මෙලෙස දැඩි ප්‍රායෝගික වූ මිනිසාගේ කාලීන හා ජීවන සුබ සිද්ධිය වෙනුවෙන් තම දාර්ශනික ප්‍රවාහය ඉදිරිපත් කිරීම තුළ මෙතෙක්‌ කලක්‌ දාර්ශනිකයන් විසින් කර තිබූ හා කරමින් පැවැති දාර්ශනික ක්‍රියාදාමය සම්පූර්ණ වෙනසකට භාජනය කරමින් නව ප්‍රවේශයක්‌ සනිටුහන් කළ මාක්‌ස්‌ සැබැවින්ම ප්‍රති දාර්ශනිකයකු බව කීම යුක්‌ති යුක්‌තය. මෙම සඳහන් කළ කරුණු කාරණා මාක්‌ස්‌ගේ කේන්ද්‍රීය අරමුණ වටා බැඳුණු සංකල්පනාය. සම්පූර්ණයෙන්ම සාම්ප්‍රදායික දාර්ශනිකයාගේ කාර්ය භාරයෙන් ඉවත්ව ප්‍රති දාර්ශනිකයකුගේ ගමනාන්තය සනිටුහන් කරන කාල් මාක්‌ස්‌ ප්‍රති දාර්ශනික ආර්ථයෙන් සැලකීම සාධාරණ වන අතර මෙම කේන්ද්‍රීය ලක්‍ෂණය වටා ගෙතුණු තවත් කරුණු රාශියක්‌ නිසාද ප්‍රති දාර්ශනික බව සනාථ කරනු ලබයි.

පළමු වරට ශ්‍රමය මත පදනම් වෙමින් මිනිස්‌ සමාජයේ ජීවනාලිය වූ සංකල්පය යොදාගෙන දර්ශනවාදය ඉදිරිපත් කරමින් පෙරදිග හා අපරදිග චින්තන සම්ප්‍රදාය තුළ ඉතිහාසය භෞතික ස්‌වරූපයෙන් විග්‍රහ කිරීම පළමු වැනි දාර්ශනිකයා වූ ඔහු සැබවින්ම ප්‍රති දාර්ශනිකයෙකි. එසේම කාල් මාක්‌ස්‌ ඉතිහාසය, ආර්ථිකය, මානව විද්‍යාව යනාදි ක්‍ෂේත්‍ර පිළිබඳ ලත් දැනුමෙන් ගොඩනගන නවතම දාර්ශනික මතවාදය පෙරටු කොටගත් දර්ශනයක්‌ විය. මාක්‌ස්‌ට පෙර සිටි දාර්ශනිකයන්ගේ කාර්යය බොහෝ දුරට සමාජය නවතම ආකාරයෙන් විග්‍රහ කිරීම හෝ නව දෙයක්‌ සොයා දීමයි. නමුත් එය ප්‍රායෝගිකත්වයෙන් අඩු විය. මෙයට බටහිර දර්ශන ඉතිහාසය පුරාම කොතෙකුත් උදාහරණ පවතී. නමුත් කාල් මාක්‌ස්‌ තම දර්ශනය මතවාදී විමුක්‌තියක්‌ කරා මෙහෙයවන අයුරු අපට දැකගත හැකිය. එනම් කෑම බීම, නිවහන ප්‍රධාන කේන්ද්‍ර කරගෙන දිවි ගෙවූ මිනිසාගේ එහි සුබසිද්ධිය උදෙසා දාර්ශනික විමුක්‌ති මාවතක්‌ භෞතිකවාදී ස්‌වරූපයෙන් ගෙන ඒම සැබැවින්ම ගතානුගතික නොවූ ප්‍රති දාර්ශනික ක්‍රියාදාමයකි.

ශ්‍රී ලංකා ගාර්ඩියන්

//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({}); //pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({});