නූතන වාග් විද්‍යාවේ අරුණලු දුටු ප්‍රාඥයා

මහාචාර්ය ජේ. බී. දිසානායක

භාෂාව අරබයා කුමාරතුංග කෙරේ වූ දෘෂ්ටිය නූතන වාග්විද්‍යා සංකල්පවලට බෙහෙවින් අනුකූල ය. ලෝකයෙහි භාෂා කොතෙක් ඇතත් ඒ හැම භාෂාවක් ම ඊට ම ආවේණික ස්වායත්ත ලක්ෂණවලින් හෙබි නිර්මාණයක් බව නූතන වාග්විද්‍යාඥයා පිළිගනියි. කුමාරතුංග මහතා ද මේ සංකල්පය මැනවින් දැන සිටියේය.

වාග්විද්‍යාවේ ආරම්භය ඈත අතීතයේ ග්‍රීසිය දක්වාත් රෝමය දක්වාත් දිවෙයි. නූතන වාග්විද්‍යාවේ සමාරම්භය සිදු වූයේ විසිවෙනි සිය වසේ මුල් භාගයෙහි දී ය. ෆර්දිනාන්ද් දො සොයුය්යො (Ferdinand de Sassure) නමැති ජිනීවානු වාග්වේදියාගේ ‘Cours de Linguistique Generale’ නමැති කෘතිය 1916 දී ප්‍රකාශයට පත් කරනු ලැබීම නූතන වාග්විද්‍යාවේ හැරවුම් ලක්ෂ්‍යය සේ සැලකේ. මේ කෘතිය ඔහු විසින් වාග්විද්‍යාව අලළා ප්‍රංස භාෂාවෙන් පවත්වන ලද දේශනා සමහරක් සංග්‍රහ කොට ඔහුගේ ශිෂ්‍යයන් විසින් පළ කරන ලද්දකි.

එතෙක් වාග්විද්‍යාඥයන් භාෂාව දෙස බැලුවේ ඓතිහාසික හෝ තුලනාත්මක දෘෂ්ටිකෝණයකිනි. ඔවුන්ගේ මූලික අවධානය යොමු වූයේ ඉන්දු යුරෝපීය භාෂා අතර පවත්නා නෑසබඳකම් විමසා බැලීම කෙරේ ය. භාෂා විමර්ශනය ව්‍යවහාර භාෂාව කෙරේ යොමු කිරීම සොසුය්යෝ අතින් සිදු වුණු මෙහෙය යි. භාෂාවක් එදිනෙදා ව්‍යවහාරයෙහි ඇත්ත වශයෙන් යෙදෙන හැටි විමසා බලා එයින් ඉස්මතු වන ශබ්ද රටා, පද රටා හා වාක්‍ය රටා පමණක් නොව අර්ථ රටා ද හඳුනා ගැනීමට වෑයම් කිරීම නූතන වාග්විද්‍යාවේ අරමුණ විය.

ජිනීවා නුවරින් ඇරැඹුණු මේ විප්ලවය වැඩි කල් යන්නට මත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා විහිද ගියේය. එඩ්වර්ඩ් සැපියර් (Edward Sapir) නමැති ඇමෙරිකානු වාග්විද්‍යාඥයා 1921 දී පළ කළ ‘Language’ (භාෂාව) නමැති කෘතියත් ලෙනාර්ඩ් බ්ලූම්ෆීල්ඩ් (Leonard Bloomfield) නමැති ඇමෙරිකානු වාග්විද්‍යාඥයා ඒ නමින් ම 1933 දී පළ කළ කෘතියත් නූතන වාග්විද්‍යාවේ පුරෝගාමී පියවර සේ සැලකේ.

මේ වන විට ලංකාවේ සිදු වෙමින් පැවැත්තේ කුමක් ද? ඩබ්ලියු. ඇෆ්. ගුණවර්ධන වාසල මුදලි තුමා ‘සිදත් සඟරාව’ ශාස්ත්‍රීය විචාරයට භාජන කරමින් ‘සිද්ධාන්ත පරීක්ෂණය’ නමින් කෘතියක් 1924 දී පළ කොට තිබිණ. එය සිදත් සඟරාව අලළා ප්‍රකාශයට පත් වුණු ප්‍රථම ශාස්ත්‍රීය විචාරය යි. ඉන් දස වසකට පසුව මුනිදාස කුමාරතුංග මහතා ද ‘සිදත් සඟරා විවරණය’ නම් අගනා ශාස්ත්‍රීය විචාරයක් පළ කළේය.

සිදත් සඟරාව විචාරයට හසු කිරීමෙන් නොනැවතුණු කුමාරතුංග මහතා සිංහලය අලළා නව ව්‍යාකරණයක් සපයමින් 1938 දී ‘ව්‍යාකරණ විවරණය’ ප්‍රකාශයට පත් කළේය. මෙය සිදත් සඟරාවෙන් පසුව සිංහලයෙන් ලියවුණු පළමුවෙනි ව්‍යාකරණ ග්‍රන්ථය වශයෙන් සැලකිය හැකි ය. පිටු 420 කින් සමන්විත මේ ව්‍යාකරණය ග්‍රන්ථය අබිබවා යන කෘතියක් මෙතෙක් පහළ වී නැති බව ද කිව යුතු ය.

නූතන වාග්විද්‍යාව අලළා ඉංගිරිසියෙන් ලියවුණු පොත් කියවීමට කුමාරතුංගයන්ට අවස්ථාවක් ලැබුණු බවක් නොපෙනේ. එසේ වුවද ඔහුගේ සිතුම් පැතුම් කෙරේ නූතන වාග්විද්‍යාවේ අරුණලු වැටී ඇති බවක් පැහැදිලිව ම පෙනෙන්නට තිබේ. නූතන වාග්විද්‍යාව සිංහලයෙන් හඳුන්වා දෙනු පිණිස 1969 දී මා පළ කළ ‘භාෂාවක රටා සමුදාය’ නම් පොතේ පෙරවදනෙහි මම මෙසේ කීමි.

“භාෂාවකට අයත් රටා සමුදාය විග්‍රහයට ලක් කළ යුත්තේ වෙනත් භාෂාවන්ට අයත් ලක්ෂණ අනුව නො වන බව නූතන වාග්විද්‍යාඥයන් එකහෙළා අනුමත කරන අදහසකි. සිංහලය වැනි භාෂාවක් සංස්කෘත හෝ පාළිය වැනි භාෂාවක් අරභයා පිහිටුවා ගන්නා ලද භාෂාංගයන්ට අනුව විවරණය කරන්නට වෑයම් කිරීම අශාස්ත්‍රීය කාර්යයක් බව කුමාරතුංග මහතා පෙන්වා දුන්නේය. නූතන වාග්විද්‍යාවෙහි උසස් කොට සලකනු ලබන තවත් සමහර සංකල්පයන්ගේ මුල් බීජ කුමාරතුංග මහතාගේ ‘ව්‍යාකරණ විවරණයෙහි’ දක්නට ලැබේ.” (ix පිට)

කුමාරතුංග මහතා 1944 මාර්තු දෙවෙනිදා අඩු වයසින් අකාලයේ මිය නොගියේ නම් ඔහු විසිවෙනි සිය වසේ මෙරට පහළ වුණු විශිෂ්ටතම නූතන වාග්විද්‍යාඥයා බවට පත් වීමට බෙහෙවින් ඉඩ තිබිණ. මා එසේ අනාවැකි පළ කරන්නේ නූතන වාග්විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය වීමංසන බුද්ධිය හා විචක්ෂණ බුද්ධිය පමණක් නොව නිරීක්ෂණ ශක්තිය ද ඔහු සතු ව අප්‍රමාණව පැවති හෙයිනි.

භාෂාව අරබයා කුමාරතුංග කෙරේ වූ දෘෂ්ටිය නූතන වාග්විද්‍යා සංකල්පවලට බෙහෙවින් අනුකූල ය. ලෝකයෙහි භාෂා කොතෙක් ඇතත් ඒ හැම භාෂාවක් ම ඊට ම ආවේණික ස්වායත්ත ලක්ෂණවලින් හෙබි නිර්මාණයක් බව නූතන වාග්විද්‍යාඥයා පිළිගනියි. කුමාරතුංග මහතා ද මේ සංකල්පය මැනවින් දැන සිටියේය.

“ලෝකයෙහි ඉතා උසස් අන්‍ය භාෂා කොතෙකුත් ඇති වියැ හැකි යැ. එහි ව්‍යාකරණය අතිනිර්මල වියැ හැකි යැ. සිංහල භාෂාවේ ව්‍යාකරණය හෙළි කිරීමෙහි දී සැලැකියැ යුත්තේ ඒ එකෙකුත් නො වේ. ව්‍යාකරණය නම් භාෂා නීතිය යි. එක් එක් භාෂාවේ ව්‍යාකරණය ඒ ඒ භාෂාවේ ව්‍යවහාරයෙන් විනිශ්චය කරනු ලැබේ. එ හෙයින් ව්‍යාකරණ කාරයා විසින් කළ යුත්තේ තමා ව්‍යාකරණය සපයන භාෂාවේ ව්‍යවහාරය බලා, අලළා, පෙරා, කිරා, පිඬු කොටැ දැක්වීම යි.”

නූතන වාග්විද්‍යාඥයා භාෂාවක ව්‍යාකරණය යැයි කියන්නේ භාෂාවක සැබෑ ව්‍යවහාරය පදනම් කොට ගනිමින් ඉස්මතු කොට ගන්නා රටා සමුදායට යි. මේ රටා සමුදාය බසින් බසට මෙන් ම කලින් කලට ද වෙනස් වේ. ලෝකයේ අන් හැම දෙයක් සෙයින් ම භාෂා රටා ද අනිත්‍ය ධර්මයට හසු වේ. භාෂාවක කලින් කලට සිදු වන වෙනස්කම් ඒ භාෂාවේ ස්වාභාවික පරිණාමය සලකුණු කරයි.

නූතන වාග්විද්‍යාඥයා සිංහල භාෂාවේ වර්තමාන මුහුණුවර වෙසෙසා දැක්වීමට ‘නූතන සිංහලය’ හෝ ‘සමකාලීන සිංහලය’ යන නම් යොදයි. එහෙත් එයින් අදහස් කරන්නේ ඔහු ඊට පෙරාතුව පැවති අවධිවල සිංහලය නොතකා හරින බවක් නොවේ. බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවුණු ලෙන් ලිපිවල හෝ සීගිරි කැටපත් පවුරේ එන ගීවල හෝ ‘අමාවතුර’ වැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවල හෝ ඇත්ත වශයෙන් භාවිත වී ඇති ව්‍යවහාරය විග්‍රහ කරමින් ඒවායෙහි ව්‍යාකරණ රීති විමර්ශනය කිරීම ද නූතන වාග්විද්‍යාඥයාට අදාළ ය. ‘අමාවතුර’ නූතන වාග්විද්‍යා දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කෙරුණු ශාස්ත්‍රීය නිබන්ධයක් ‘Amavatura – A Syntactical Study’ යනුවෙන් මහාචාර්ය පියසීලි විජේමාන්න විසින් 1984 දී පළ කොට තිබේ.

නූතන වාග්විද්‍යාඥයා දැන සිටි සමහර විග්‍රහයන් කුමාරතුංග මහතා ද හොඳින් දැන සිටි බව ඔහුගේ ‘ව්‍යාකරණ විවරණය’ කියවන විට දී අවබෝධ වෙයි. ඉන් එක් විග්‍රහයක් අ-යන්න සම්බන්ධයෙනි. අ-යන්න ස්වර ශබ්දයකි. එය දෙයාකාරයකින් උච්චාරණය කෙරෙන බව කුමරතුංග මහතා පෙන්නා දෙයි. ඉන් එකක් ‘හෘදයජ’ යනුවෙන් ද අනික ‘පූර්ව කණ්ඨජ’ යනුවෙන් ද ඔහු නම් කරයි. එහෙත් මේ ශබ්ද දෙක ම ලියා දක්වන්නේ එක ම අ-යන්නකිනි. (21 පිට)

‘අත’ ‘අට’ ‘අල’ යන පදවල මුල එන අ-යන්න ‘පූර්ව කණ්ඨජ’ වේ. ඊට ම ‘සංහෘත’ යන නම ද ඔහු භාවිත කරයි. යට කී පදවල ත-යන්න ට-යන්න ල-යන්න යන තැන්වල ඇත්තේ ‘හෘදයජ’ අ-යන්න යි. මේ භේදය නූතන සිංහල වාග්විද්‍යාඥයා හඳුන්වන්නේ ‘විවෘත’ හා ‘සංවෘත’ යන නම්වලිනි. හෘදයජ අ-යන්න පූර්ව කණ්ඨජ අ-යන්නෙන් වෙසෙසා දැක්වීමට වෙන ම අකුරක් නැති නිසා ඔහු අකුරක් ද යෝජනා කරයි.

“මේ ශබ්දය හැඳින්වීමට අමුතු ලකුණක් නැති වීම බලවත් පාඩුවෙකි. මින් මතු ඒ ශබ්දය විශේෂ කොටැ දැක්වුව මනා තන්හි යනු යොදනු ලැබේ” (24 පිට) යැයි කියමින් ඔහු අ-යන්නේ රූපය ම යටිකුරු කොට දක්වයි.

නූතන වාග්විද්‍යාඥයා ස්වර විග්‍රහ කිරීමෙහි ලා යොදා ගන්නා එක් විග්‍රහයක් අනුව සියලු ස්වර තෙවැදෑරුම් වේ. මහාචාර්ය සුගතපාල ද සිල්වා සිය ‘භාෂා විමර්ශනය’ නමැති කෘතියෙහි මේ විග්‍රහය මෙසේ විස්තර කරයි.

“ස්වර ප්‍රධාන වශයෙන් ම පූර්ව ස්වර (front vowels) අපර ස්වර (back vowels) හා මධ්‍ය ස්වර (central vowels) යනුවෙන් කොටස් තුනකට බෙදිය හැකි ය. පූර්ව ස්වර වශයෙන් හැඳින්වෙන්නේ දිව්තලය ඉදිරිතල්ල දිශාවට උස් වී සෑදෙන ස්වර යි. ඒ ස්වර සැදීමේ දී පසුදිව පහත් ව සිටී. ඊ, ඒ ආදි ශබ්දවල දී මෙනි. අපර ස්වර යනුවෙන් හැඳින්වෙන්නේ පසුදිව පසුතල්ල දිශාවට උස් වී සෑදෙන ස්වර යි. ඒ ස්වර සෑදීමේ දී දිව්තලය පහත් වී සිටී. ඌ, ඕ ආදී ශබ්දවල දී මෙනි. දිව්තලය හෝ පසුදිව හෝ මෙසේ උස්විය නොදී දිව අක්‍රිය ව සිටියදී උපදින ස්වර මධ්‍ය ස්වර වේ.” (41 පිට)

කුමාරතුංග මහතා ද මේ ස්වර විග්‍රහය දැන සිටියේය. එහෙත් ඒ ස්වර හැඳින්වීමට ඔහු යොදා ගත් ‍නම් වෙනස් ය. අපර ස්වර හැඳින්වීමට ‘නම්‍ය ස්වර’ යන නම ද පූර්ව ස්වර හැඳින්වීමට ‘අනම්‍ය ස්වර’ යන නම ද ඔහු යෙදුවේය. (ව්‍යාකරණ විවරණය 29 පිට) ඔහු එසේ නම් කිරීමට හේතු සාධක ද දැක්වීය.

“අ, උ, ඔ, යන තුන නම්‍ය යි. සුදුසු තන්හි නැමෙන හෙයින් නම්‍ය නාමය යෙදේ. ඇ, ඉ, එ, යන තුන අනම්‍ය යි. නම්‍ය ස්වර මෙන් නොනැමෙන හෙයින් අනම්‍ය නමි. නම්‍ය ස්වර නැමෙනුයේ අනම්‍ය ස්වර භාවයට යි.

අ යනු ඇ යනු බවට නැමේ
උ යන් ඉ යනු බවට නැමේ
ඔ යනු එ යනු බවට නැමේ.

නම්‍ය ස්වර අස්ථිර යි. අනම්‍ය ස්වර ස්ථිර යි” ඉන් අනතුරුව එසේ සිදු වන අවස්ථා 7ක් ද ඔහු නිදසුන් සහිතව පෙන්නා දෙයි. (29 – 30 පිටු)

නූතන වාග්විද්‍යාඥයා මේ ශබ්ද සංවිධාන විධිය හඳුන්වන්නේ ‘පූර්වස්වරීකරණය’ යන නමිනි. කුමාරතුංග මහතා මතු කළ ශබ්ද සංවිධාන විධිය හැඳින්වීමට ‘අනම්‍යාදේශය’ යන නම භාවිත වේ.

කුමාරතුංග මහතාගේ චින්තනය ගතානුගතික නොවීය. භාෂාවේ කවර ක්ෂේත්‍රයක් දෙස වුව නව දෘෂ්ටිකෝණයකින් බැලීමට තරම් නිර්භය ප්‍රවේශයක් ඔහු සතු විය. ඔහු සිංහල අක්ෂර මාලාව දෙස බැලුවේ ගතානුගතික අනුපිළිවෙළින් නොවේ. සිදත් සඟරාවත් ඊට පසුව ලියවුණු ‘වදන් කවි පොත’ වැනි පොත්වලත් දන්තජ ල-යන්න හා මූර්ධජ ළ-යන්න යෙදෙන්නේ එකිනෙකින් ඈත් ව ය.

ය් ර් ල් ව්

ශ් ෂ් ස් හ් ළ්

එහෙත් කුමාරතුංග මහතා ළ-යන්න හා ල-යන්න දක්වන්නේ එක සමීපයෙහි පිහිටි අක්ෂර වශයෙන් පහත දැක්වෙන අනුපිළීවෙළිනි.

ය් ර් ළ් ල් ව්

(ව්‍යාකරණ විවරණය, 4 පිට)

කුමාරතුංග මහතා අනුස්වාරය හා විසර්ගය යන අක්ෂර දෙකේ අනුපිළිවෙළ ද වෙනස් කරයි. මේ අතුරින් සිදත් සඟරාවෙහි එන්නේ අනුස්වාරය හෙවත් බින්දුව පමණකි. එය ඒ හෝඩියෙහි අවසන් අකුර ද වේ. කුමාරතුංග මහතා විසර්ගය අනුස්වාරයට පූර්වයෙන් ඉදිරිපත් කරමින් නව මඟක් හෙළි කරයි.

කුමාරතුංග මහතා අනුස්වාරයට පූර්වයෙන් විසර්ගය ඉදිරි පත් කළේ සහේතුක ව ය. විසර්ගයෙන් සංකේතවත් වන්නේ හ-යන්නට බෙහෙවින් සමාන ව්‍යංජන ශබ්දයකි. නූතන වාග්විද්‍යාඥයා දක්වන ආකාරයට හ-යන්න අයත් වන්නේ ‘ඌෂ්ම ශබ්ද’ ගණයට ය. මේ ගණයට අයත් සෙසු ශබ්ද නම් ශ-යන්න ෂ-යන්න ස-යන්න හා හ-යන්න යි. එබැවින් මෙකී අක්ෂරවලට පරව විසර්ගය ඉදිරි පත් කිරීම තර්ක ගෝචර ය.

ශ් ෂ් ස් හ්

කුමාරතුංග මහතා ‘භාෂාව’ අරබයා දක්වන නිර්වචනය ද නූතන වාග්විද්‍යාවට බෙහෙවින් අනුගත ය. ඔහු ‘ව්‍යාකරණ විවරණය’ ආරම්භයෙහි දී ම මෙසේ කියයි.

“භාෂාවක් නම් වාක්‍ය සමුදායයෙකි” (2 පිට)

මෑත කාලයෙහි දී නූතන වාග්විද්‍යාව අලළා ලියවුණු නිබන්ධ අතුරින් ඉතා ම තීරණාත්මක කෘතියක් වූයේ නෝම් චොම්ස්කි (Noam Chomsky) නම් ඇමෙරිකානු මහාචාර්ය තුමා 1957 දී පළ කළ ‘Syntactic Structures’ නම් කෘතිය යි. එහි දැක්වෙන ආකාරයට ව්‍යාකරණය යනු භාෂාවකට අයත් ව්‍යාකරණානුකූල වාක්‍ය ජනනය කිරීමේ ශක්ති ප්‍රවාහය යි.

මෙය තව දුරටත් පැහැදිලි කරමින් ඩේවිඩ් ක්‍රිස්ට්ල් (David Cystal) මහාචාර්ය තුමා ‘How Language Works’ නම් කෘතියෙහි මෙසේ කියයි. “a grammar is a device of some sort for producing sentences of the language under analysis” (232 පිට)

භාෂාවක් භාවිත කරන පිරිසකගේ ඕනෑ එපාකම් හා සිතුම් පැතුම් වෙනස් වන විට භාෂාව ද ස්වභාවයෙන් ම වෙනස් වේ. එය භාෂාවක ස්වාභාවික පරිණාමය යනුවෙන් හැඳින්විය හැකි ය. එහෙත් භාෂාවක් වුවමනාවෙන් ම වෙනස් කිරීමට ද අපට පුළුවන. එය හැඳින්වෙන්නේ ‘භාෂා සැලසුම්කරණය’ (language planning) යනුවෙනි.

කුමාරතුංග මහතාගේ සිත භාෂා සැලසුම්කරණය කෙරේ ද වරින් වර යොමු විණ. සිංහල අක්ෂර රූප අතර පවත්නා අවිධිමත්භාවය දුටු ඔහු දැනට භාවිත වන අක්ෂර රූප වෙනුවට වෙනත් අකුරු මාලාවක් නිර්මාණය කොට ගැනීමේ වැදගත්කම ඔහුට දැනිණ. ‘තරු අකුරු’ යනුවෙන් අකුරු මාලාවක් ඔහු නිර්මාණය කළත් එය ක්‍රියාත්මක නුවූයේ සිංහල පඬිවරුන් හා වියරණ ඇදුරන් වැඩි දෙනා ගතානුගතිකව සිතන පතන පිරිසක් වීම නිසා ය.

කුමාරතුංග මහතා හුදු ව්‍යාකරණඥයෙක් හෝ භාෂාඥයෙක් හෝ පමණක් නොවීය. ඔහු සම්භාව්‍ය සාහිත්‍ය කෘති සංස්කරණය කිරීමෙන් සාහිත්‍යධරයන් ඇමතීය. ‘පිය සමර’ වැනි කාව්‍ය නිර්මාන කිරීමෙන් රසිකයන් ඇමතීය. ‘හෙළ මීයැසිය’ ලිවීමෙන් සංගීතඥයන් ඇමතීය. ‘හත්පණ’ ‘මඟුල් කෑම’ වැනි කතන්දර පොත් ලිවීමෙන් දරුවන් ඇමතීය. අලුතින් ම පද සැදීමෙන් ශබ්දකෝෂ කර්තෘෘන් පරදවීය. ඔහු වැනි ඡේකයෙකු හෝ ධීමතෙකු රටක පහළ වන්නේ කලාතුරකිනි. සිංහල වෙද මහතෙකුගේ පුත්‍ර රත්නයක් වූ එතුමා පණ පිටින් හමු වීමට සිංහල වෙද මහතෙකුගේ පුතෙකු වූ මට නොලැබීම මගේ මහත් ම අභාග්‍යය යි.

ශ්‍රී ලංකා ගාර්ඩියන්

//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({}); //pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({});