මිෂෙල් ෆූූකෝ : මාක්ස් සහ නීට්ෂේ එකතු කළ 20 වෙනි සියවසේ දාර්ශනිකයා

ඩබ්ලිව්. ඩබ්ලිව්. බණ්ඩාර

ෆූූකෝ 1926 -1984 කාලයේ ජිවත් වූ ප‍්‍රංශ දාර්ශනිකයෙක් විය. බටහිර දර්ශනයේ මහාද්වීපික දර්ශනය, ව්‍යුහවාදය හා පශ්චාත්-ව්‍යුහවාදය යනාදී දාර්ශනික සම්ප‍්‍රදායන්ට ෆූූකෝ අයත් වෙයි. ෆූූකෝ වඩාත් ප‍්‍රසිද්ධ වන්නේ විචාරාත්මක අධ්‍යයනයන්, සමාජ සංස්ථාවන් ( social institutions), මනෝවිද්‍යාව, වෛද්‍යවිද්‍යාව මානවවිද්‍යාව සහ බන්ධනාගාර වැනි ආයතන පද්ධතීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් නිසා ය. එමෙන් ම ලිංගිකත්වයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අදහස් ඉතාමත් විප්ලවකාරී වෙයි. ෆූූකෝ බලය, දැනුමට හා කතිකාවට (discourse) ඇති සබඳතාවය ඉතා පුලූල් ආකාරයෙන් විභාග කොට තිබේ. 1960 දී පමණ ෆූූකෝ ව්‍යුහවාදය සම`ග එක් විය. රෝලන්ඞ් බාත්ස්, ජැක් ලැකාන්, ලෙවි ස්ට‍්‍රවුස් යනාදීන් මේ යුගයේ ජනපි‍්‍රය ව්‍යූහවාදීන් විය. නමුත් පසුව ෆූූකෝ තමන්ව ව්‍යූහවාදියෙක්, පශ්චාත් ව්‍යුහවාදියෙක් මෙන් ම පශ්චාත්-නූතනවාදියෙක් වශයෙන් හැඳින්වීමට ද විරුද්ධ විය. මේ අනුව ෆූුකෝව හඳුනාගත හැක්කේ කාන්ටියානු දර්ශනයෙන් ඇරඹි නූතනවාදය (modernity) විවේචනය කරන්නෙකු වශයෙන් ය. ෆූූකෝ නිට්ෂේගේ සහ Geneology of Morals කෘතියේ අදහස්වලින් පෝෂණය ලැබුවෙකි. රිචඞ් රෝටි ට අනුව ෆූූකෝගේ ‘‘බලය’’ පිළිබඳ සංකල්පය මාක්ස්ගෙන් ද දැනුම පිිළිබඳ සංකල්පය නීට්ෂේගෙන් ද ලබාගෙන තිබේ. ෆූූකෝ පසුකාලීනව තමන්ව හඳුන්වාගතතේ නීට්ෂියානුවාදියෙක් ලෙස ය.

ෆූූකෝ විසින් ‘‘දැනුම’’ හා ‘‘ආයතන පද්ධතීන්’’ (institutions) විසින් සමහර මනුෂ්‍යයින් බැහැර කිරීම, නොසලකා හැරීම, පහත් කර සැලකීම, බලහත්කාරකමේ යෙදවීම පිළිබඳ විභාග කළේය. ඔහු 1950 – 1953 කාලයේ ප‍්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ කරන්නේ ඔහුගේ ගුරුවරයා වූ ලූවී අල්තුෂර් ය. නමුත් පසුව ඔහු පක්‍ෂයෙන් හා මාක්ස්වාදයෙන් ඉවත් විය. 1960 දී ෆූූකෝ ආචාර්ය උපාධිය ලබා ගන්නා ලදී. 1961 දී Madness and Civilization කෘතිය ද, 1966 දී The Order of Things කෘතිය ද රචනා කළේය. The Order of Things කෘතියෙන් ෆූූකෝ ලැකාන්, ලෙවි ස්ට‍්‍රවුස්, බාත්ස් ආදීන් සම`ග ව්‍යූහවාදී ගුරුකුලයට එක් විය. ඊට පෙර ඔහු සාත්රේ සම`ග දේශපාලන සහ ශාස්ත‍්‍රීය ගණුදෙනු පැවැත්වූයේ ය. ෆූූකෝ පසුව තමන්ගේ ව්‍යූහවාදී ලේබලය බැහැර කිරීමට උත්සාහ ගත්තේය. 1969 දී ඔහු The Archaeology of Knowledge කෘතිය රචනා කළේය. 1975 දී රචනා කළ Discipline and Punish කෘතියෙන් 18 වන සියවසේ යුරෝපා සමාජයේ ක්‍ෂද්‍ර-බල ව්‍යූහයන් කි‍්‍රයාත්මක වු ආකාරය විභාග කළේය. විශේෂයෙන් ම බන්ධනාගාර සහ පාසැල් යන ආයතන පද්ධතීන් මෙහිදී විභාග කරනු ලැබීය. The History of Sexuality  වෙලූම් ප‍්‍රකාශයට පත්වූයේ 1980 දී එනම් ෆූූකෝ මිය යාමට වසර 4 කට පෙර ය.

ෆූකෝගේ මුල් කාලීන දර්ශනයට මාක්ස්වාදය සහ සංදෘෂ්ටිකවාදී ප්‍රපංචවිද්‍යාව (ෙහෙඩගර් ) බලපෑවේය. ෙහෙඩගර්ගේ දර්ශනයෙන් පරම සත්‍යයක් පිළිබඳ අදහස ප‍්‍රතික්ෂේප විය. ෆූූකෝගේ දර්ශනයේ දී ඉස්මතු වූයේ ඉතිහාසවේදීමය දැනුමක් ය. මේ තුළ පරමාවාදයක්, සාරවාදයක් දක්නට නොලැබේ. එමෙන්ම එහි නීර්ණවාදයක් හෝ ඌනිතවාදයක් ද නොමැත. මුල් කාලයේ දී ෆූූකෝ ඔහුගේ ගුරුවරයෙක් වූ ජෝර්ජ් කැන්ගියුලම් හරහා සබුද්ධිකත්වය සහ තර්ක බුද්ධිය (the Reason) පරම සත්‍යයක් නොවන බවත්, ව්‍යූහවාදය හා මනෝවිශ්ලේෂණය හරහා ප‍්‍රපංචවාදය හා මාක්ස්වාදය තුළ මතු කළ ප‍්‍රශ්න යම්තාක් දුරකට විසඳෙන බවක් තේරුම් ගත්තේය. ඉතිහාසමය දැනුමක් පිළිබඳ අදහසත් ආත්මයේ ස්වායත්තභාවයක් ෆූූකෝ ප‍්‍රතික්‍ෂේප කළේය. නිට්ෂේගේ දැනුම හා බලය පිළිබඳ විචාරාත්මක දර්ශනය ෆූූකෝට එම ක්‍ෂේත‍්‍රය දෙස අලූත් ආකාරයකට බැලීමට උපකාරි විය. නීට්ෂේ ප‍්‍රකාශ කළේ සමස්ත පශ්චාත්-සොක‍්‍රටීක බටහිිර දර්ශනය ම පාරභෞතික වන බවත්, එය එක් පංතියකට පමණක් සේවය කරන බවත් ය. එමෙන්ම ස්වාධීන ආත්මයක් පිළිබඳ අදහසක් ද ෆූූකෝ මෙන් ම නිට්ෂේ ද බැහැර කරන ලදී. ෆූූකෝ මේ දාර්ශනික පදනම් ආශ‍්‍රයෙන් වර්තමානය පිළිබඳ සත්භාවවාදී විග‍්‍රහයකට එළඹේ.

ෆූූකෝ මුලූ මහත් දර්ශන ඉතිහාසය බලය, දැනුම හා ආත්මීයත්වය යනාදී සංකල්පයන් මත පදනම්ව විග‍්‍රහ කිරීමේදී ප‍්‍රධාන අදහස් දෙකක් ඉදිරිපත් කරන ලදී.

1. දැනුම ගොඩනැංවීමේ විධි
2. බල පද්ධතීන්

පළමුවැන්නෙන් දැනුම ගොඩනැගී තිබෙන්නේ කතිකාමය (discoursive) වශයෙන් වන බව පැවසීය. දෙවැන්නෙන් බල සම්බන්ධතා පිළිබඳ විග‍්‍රහයක් ඉදිරිපත් කෙරේ. Archaeological Theory of Discourse යන්න ‘‘දැනුම’’ පිළිබඳ ෆූූකෝ භාවිත කළ නම ය. Genealogical Theory of Discourse යන්නෙන් ෆූූකෝ ‘‘බල සබඳතා’’ පිළිබඳව විභාග කරනු ලබයි. ෆූූකෝගේ ‘‘බලය’’ පිළිබඳ සංකල්පය තේරුම් ගැනීමට නම් මේ මූලික පදනම් දෙක පිළිබඳව හරියාකාර අවබෝධයක් තිබිය යුතුය.

Archaeological Theory of Knowledge යන්නෙන් ෆූූකෝ නූතන යුගයේ මනෝචිකිත්සාව, සායනික වෛද්‍යවිද්‍යාව සහ සමාජයීය විද්‍යාවන් පිළිබඳව විභාග කරනු ලබයි. මේ දැනුම ගොඩනැංවී ඇත්තේ කතිකාවන් ලෙස ය. මේ කතිතාවන් තුළ දී ‘‘මනුෂ්‍ය ආත්මය’’ (human subject) යන්න කේන්ද්‍රීය කාර්යයක් කරන්නේ නැත. කාන්ට්ගේ සිට බටහිර දර්ශනය තුළ පැවති මනුෂ්‍යය ආත්මය ෆූූකෝ බැහැර කරනු ලබයි. ෆූූකෝ මනෝවිද්‍යාව හා මානසික රෝග පිළිබඳව කතා කරයි. මුල් කාලයේ දී ‘‘උන්මාදය’’ යන්න නිර්වචනය කර තිබුනේ ‘‘තර්ක බුද්ධිය’’ (the Reason) ප්‍රතික්‍ෂේප කිරීමක් ලෙස ය (ඬේකාට්, කාන්ට්, හේගල් ආදීන් තර්ක බුද්ධිය අගය කළෝය*. මේ නිසා තර්ක බුද්ධිය ප‍්‍රතික්‍ෂේප කළවුන් සමාජයෙන් කොන් කරනු ලැබීය. නමුත් ෆූූකෝ 1961 දී උන්මාදය හා ශිෂ්ටාචාරය නම් කෘතියෙන් උන්මාදය (insanity) යන්න පෙන්වා දුන්නේ තර්ක බුද්ධියේ ‘‘අනෙකා’’ (other) ලෙස ය. මේ අනුව තර්ක බුද්ධියේ (the Reason) පුරාවිද්‍යාව (archaeology) බව ය. තවද ෆූූකෝ උන්මත්තකයන් වෙන් කිරීම, බැහැර කිරීම, කොටු කිරීම, රෝහල්වලට ගාල් කිරීම, සිර කිරීම, හිංසාකාරී ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කිරීම, හෙළා දැකීම සහ උන්මාදය සමාජ ව්‍යසනයක් ලෙසින් දැකීමේ කි‍්‍රයාවලිය දකින්නේ ‘‘විභේදන භාවිතයන්’’ ලෙස ය. මේ අනුව ඕනෑම ‘‘වස්තුවක්’’ (ලෙඩෙක් – වෛද්‍ය කතිකාව) යම් කතිකාවක නිර්මාණයකි. එසේ නොමැතිව උන්මාදය, රෝගී බව යනුවෙන් ‘‘දෙයක්’’, ‘‘වස්තුවක්’’ නොමැත. මේ අනුව,

රෝගියා – වෛද්‍ය කතිකාව
අපරාධකරුවා – නීතිය නම් කතිකාව

යනාදී වශයෙන් ගොඩනැගෙයි. මේ ආකාරයට කතිකාවෙන් මුක්ත වූ වාස්තවිකත්වයක් නොමැත. මෝඩයෙක්, පිස්සෙක් යනුවෙන් මනෝවිද්‍යාත්මක සාරයක් නොමැත. නීතිඥයෙක්, වෛද්‍යවරයෙක් වශයෙන් යම් කෙනෙකුට නිල බලයක් ලැබෙන්නේ ද ‘‘කතිකාව’’ තුළින් ම ය. ඔවුනගේ සුවිශේෂී ගුණයක් නිසා නොවේ. මේ ආකාරයට යමෙක් කතිකාවට ඇතුල් වීම, පිටවීම මත මේ වෙනස සිදුවේ.

කතිකාව

ඇතුලත
වෛද්‍යවරයා
නීතිය

පිටත
රෝගියා
අපරාධකරුවා

මේ අනුව සෑම විටම එක් කතිතාවක් මතු කිරීමේ දී තවත් කතිකාවක් යටපත් වේ. මතු කරන්නා වූ කතිකාව තර්ක බුද්ධියට ගෝචර වන විට අනෙක් කතිකාව අතාර්තික එකක් බවට පත් කෙරේ. කතිකාවේ ඇතුළත ‘‘විද්‍යාව’’ බවට පත් වී පිටත ‘‘දෘෂ්ටිවාදයක්’’ (^ideology) බවට පත් වෙයි. මේ නිසා විද්‍යාවේ ‘‘අනෙකා’’ දෘෂ්ටිවාදය ය. එනම් ‘‘අවරෝධනය’’ කළ දෙය ය. මධ්‍යකාලීන යුගයේ විද්‍යාවේ අනෙක් වූයේ ‘‘මායාකාරීන්’’ (witches) ය. බුද්ධිප‍්‍රබෝධ යුගයේ අනෙකා වූයේ ‘‘දේවධර්මය’’ ය. වර්තමානයේ අනෙකා වන්නේ ගූඪත්වය ය.

ෆූකෝගේ දැනුම පිළිබ\ විචාරය තුළ පාරභෞතිකවාදයට සහ මමත්වය කේන්ද්‍ර කර ගැනීමට ඉඩක් නොපවතී. ඔහුට අනුව විවිධ කතිකාවත් එකට සම්බන්ධ කරන්නේ ‘‘ඥාන අනුවක්’’ (episteme) විසින් ය. මෙයින් දෙන ලද කාලකදී ඥානය සංවිධානය කරන්නේ කෙසේ ද යන්න විභාග කරනු ලබයි. දෙන ලද කාලයක විවිධ බුද්ධිමය සංවාදයන් එක් කරන්නේ ැචසිඑැපැ එකක් තුළින් ය. දෙන ලද කාලයක ආගමික, වෛද්‍ය විද්‍යාත්මක, නීතිමය ආදී කතිකාවත් ඒකාබද්ධව කටයුතු කරනු ලබන්නේ ඒ අනුව ය.

ඉතිහාසය තුළ ‘‘ඥාන අනු’’ තුනක් ෆූූකෝ විශ්ලේෂණය කරයි.

1. Renaissance – පුනරුදය
2. Classical – සම්භාව්‍ය
3. Modern – නූතන

ඥාන අනුවෙන් එකෙන් යම් යුගයක බුද්ධිමය ඒකලනයක් ගොඩනංවනු ලැබේ. තවද එය සංවිධාන මූලධර්මයක් (organizing principle) වෙයි. දේවල් වලට පිළිවෙලක් ලබා දෙන්නේ ඥාන අනුවෙන් ය. ෆූූකෝගේ මේ අදහස ඔහුගේ The Order of Things (1966) කෘතියේ දක්නට ලැබෙන ප‍්‍රධාන සංකල්පයකි.

පෙළපත් විද්‍යාව (genealogy) නම් සංකල්පයෙන් ෆූූකෝ කතිකාමය නොවන භාවිතයන් එනම් ‘‘බල ව්‍යූහයන්’’ කතිකාවට දක්වන සම්බන්ධය විභාග කරනු ලබයි. මෙහිදී ෆූූකෝ මතු කරන්නා වූ වැදගත් ප‍්‍රශ්නය වන්නේ කතිකාමය භාවිතයන්, කතිකාමය නොවන භාවිතයන්ගෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න ය. තව ද ඓතිහාසිකව කතිකාමය සැකසුම් එළියට එන්නේ කෙසේ ද යන්නත් බලය හා ආධිපත්‍ය පුහුණු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් කතිකාවන් ගොඩනැගෙන්නේ කෙසේ ද යන්නත් මෙහිදී විභාග කරනු ලබයි. ෆූූකෝ දැනුම හා බලය අතර සබඳතාවය මෙහිදී විමර්ශනය කරනු ලබයි. බලය යන්නෙන් අදහස් කරන්නේ ‘‘රාජ්‍ය බලය’’ යන්න නොව ‘‘ශරිරය මත කි‍්‍රයාත්මක වන්නා වූ බලය’’ ය. අපගේ ශරීරය මත අප නොදැනුවත්ව ම ‘‘ශික්‍ෂණය’’ හරහා බලය කි‍්‍රයාත්මක වෙයි. උන්මාදය හා ශිෂ්ටාචාරය කෘතියේ දී ෆූූකෝ ‘‘රෝගීන්’’ යැයි හංවඩුගැසූ අය ද`ඩුවම් හා විනිශ්චයන් (වෛද්‍යවරුන්* අභ්‍යන්තරීකරණය කර ගන්නා ආකාරය විභාග කරනු ලබයි.

Archaeology වලින් ෆූූකෝ පාසැල් විෂය මාලාවන් සකස් කිරීම පිළිබඳවත් විභාග කරනු ලබනවා නම් Genealogy (පෙලපත් විද්‍යාත්මක ප්‍රවේශය) තුළින් පංති කාමර සාදා තිබෙන අයුරු ගුරුවරයාගේ මේසය ආදී භෞතික උපකරණ ශිෂ්‍යයින් ශික්‍ෂණය කිරීමට උචිත අයුරින් සකසා ඇති ආකාරය විභාග කරනු ලබයි. පාසැල්, හිරගෙවල්, රෝහල් ආදියෙහි ආකෘතිය තුළින් ඒ ව්‍යූහයන්ගේ ‘‘අනෙකා’’ (සිසුන්, රෝගීන්, සිරකරුවන්* මෙල්ල කිරීමට හා ශික්‍ෂණය කිරීමට, විනය ගත කිරීමට සකසා ඇති ආකාරය ෆූූකෝ විභාග කරනු ලබයි. බලයේ ඇති ආධිපත්‍යයමය ස්වරූපය ෆූූකෝ පෙලපත්විද්‍යාත්මකව විභාග කරනු ලබයි. ෆූූකෝගේ Discipline and Punish කෘතියෙන් ශික්‍ෂණය කිරීම හා විද්‍යාත්මක ඥානය එකට වැඩුන අයුරුත්, එකට වැඩ කරණ අයුරුත් විභාග කරනු ලබයි. ෆූුකෝට අනුව කතිකාවන් ස්වායත්ත පද්ධතීන් නොව බල සම්බන්ධතාවල නිෂ්පාදිතයක් වෙයි. කතිකාවක් තුළින් ‘‘සත්‍යය’’, ‘‘යථාර්ථය’’, ‘‘අර්ථය’’ වැනි සංකල්ප ජනිත වන අතර ඒවා ස්වාධීන ඒවා නොව ෆූුකෝට අනුව බලයට සම්බන්ධ වන අතර බලය පරිවර්තනය කරන්නේ කතිකාව හරහා ය.

ෆූකෝට පෙර ‘‘ලිංගිකත්වය’’ යනුවෙන් අදහස් කළේ බොහෝ විට ජීව විද්‍යාත්මක වෙනසක්් ය. ලිංගිකත්වය කතිකාවකි.
ඒ අනුව,
1. ලිංගිකත්වය කතිකාවකි.
2. ලිංගිකත්වය ස්වාභාවික එකක් නොවේ.
3. ලිංගිකත්වය සංස්කෘතික එකක් වේ.

ෆූූකෝට අනුව ලිංගිකත්වය මනුෂ්‍යාගේ ශරිරයට සම්බන්ධ දෙයක් නොවේ. ආශාව (erotics) ට සම්බන්ධ වූ දෙයක් ද නොවේ. ආශාවට ශෘංගාරය සම්බන්ධ නොවේ. ලිංගිකත්වය ස්වීයත්වයට (subjectivity) අයත් වූ තාක්‍ෂණවේදයක් (technology) වේ. මේ තාක්‍ෂණවේදය දැනුම හා බලය යන දෙක සම`ගම සම්බන්ධ වෙයි. ෆූූකෝ පෙන්වා දෙන්නේ ලිංගිකත්වය පිළිබඳ සංකල්පය, යුරෝපීය දෘෂ්ටිවාදය තුළ සමජාතීය එකක් වශයෙන් පැවතුණේ නැති බවත්, එයට දෙන ලද විවිධ තේරුම් කිරීම්, ඇගැයීම්, ප‍්‍රතිචාරයන් යනාදිය ධනවාදයේත්, ධනවාදී සංස්කෘතියේත් සබඳතාවයක් තුළින් තේරුම් ගත යුතු බවත් ය. ෆූූකෝ එය තහනම් කළ සහ මර්ධනය කළ සුචරිතවාදී ධනේෂ්වර සංස්කෘතිය තුළ ම (වික්ටෝරියානු සංස්කෘතිය ), ලිංගිකත්වය පිළිබඳ ඉතා පුලූල් ලෙස භාවිතයට ගන්නා ලද සංවාද තලයක් (discursive terrain) බිහිවූ බව ඉතා පැහැදිලිව පෙන්වා දෙයි.

මේ ආකාරයට බලන විට ෆූූකෝගේ විධික‍්‍රමය තුළින් ‘‘බලය’’ පිළිබඳව

සාම්ප‍්‍රදායික මාක්ස්වාදී අර්ථකථනයට වඩා වෙනස් විමර්ශනයක් සිදු කරන බව පෙනේ. ෆූකෝට අනුව ‘‘බලය’’ යන්න ආයතනික ප‍්‍රකාශනයක් ලෙස අර්ථ ගන්වන විට මාක්ස්වාදීන් බලය යන්න ‘‘රාජ්‍යය’’ පිළිබඳ ප‍්‍රශ්නය සම`ග සම්බන්ධව විමර්ශනය කරනු ලැබේ. අන්තෝනියෝ ග‍්‍රාමිෂ්චි මෙන් ම ෆූූකෝද බලයෙහි විවිධ ප‍්‍රකරයන් හා සෘජු මර්ධනයට අමතරව සමාජය පුරා ම පැතිරී ගිය බලය පිළිබඳ තාක්‍ෂණයෙන් (technologies of power) පිළිබඳවත් විභාග කරනු ලබයි. මෙම තාක්‍ෂණය සමාජ දේහය පුරා විවිධ මට්ටම් වලින් පැතිරී ඇත. පවුල, ලිංගිකත්වය, සංස්කෘතිය, වෛද්‍ය ශිල්පය, අධ්‍යාපනය ආදි ක්‍ෂේත‍්‍රයන් වලත් බල සබඳතාවයන් පවතින බවත්, සමාජය ඒවා පිළිගන්නේ විවිධ බල තාක්‍ෂණයන් මගින් බවත් ෆූූකෝ පෙන්වා දෙයි.

කෙසේ නමුත් ෆූූකෝගේ මෙම ප්‍රවේශයට එල්ල වූ නොයෙකුත් විවේචනයන් ද දක්නට ලැබේ. ඩොමිනික් ලකූර් (Dominique Lacourt) ට අනුව ෆූූකෝ බලය පිළිබඳ ප්‍රශ්නය දෙස පංති දෘෂ්ටියකින් බලන්නේ නැති බවත්, පංති ප‍්‍රශ්නය එහිදී ඉස්මතු කරන්නේ නැති බවත් ප‍්‍රකාශ කරයි. නිකෝස් පුලන්සාස් (Nicos  Poulantzas) නම් ග‍්‍රීක මාක්ස්වාදියා ප‍්‍රකාශ කරන පරිදි රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය වර්ධනය කළ ඉතාම වැදගත් මෑත කාලීන මාක්ස්වාදියා ෆූූකෝ ය. ඉතිහාසය, කලා සහ සාහිත්‍ය විචාරය, සංස්කෘතිය, ඥාන විභාගය, දර්ශනය, ආගම් හා දෘෂ්ටිවාද විශ්ලේෂණය, ස්ත‍්‍රීවාදය, මනෝවිද්‍යාව හා මානවවිද්‍යාව ආදි සමාජය පිළිබඳව අධ්‍යනය කරන සෑම විෂයකට ම ෆූකෝගේ අදහස් ඔහු ජීවත් වූ කාලය තුළ ම අති විශාල බලපෑමක් කළ බව පෙනේ.

ආශ්‍රිත ග්‍රන්ථ 

1. උයන්ගොඩ ජයදේව, මිෂෙල් ෆූුකෝගේ විධික‍්‍රමය, ප‍්‍රවාද (8 වන කලාපය), ප්‍රවාද ප්‍රකාශකයෝ, කොළඹ, 1995.

2. Gutting Gary, Foucault, A Very Short Introduction, Oxford University Press, New York, 2005.

3. Kearney Richard, The Continental Philosophy Reader, Routledge, London and New York, 1996


Additional ( Video) ~ Courtesy: the School of Life

ශ්‍රී ලංකා ගාර්ඩියන්

//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({}); //pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({});