රාවණ යනු සූර්ය වංශය මිස පුද්ගලයෙක් නොවේ

ආචාර්ය සූරිය ගුණසේකර

පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ අපට උගන්වා ඇත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට ගෝචරවන දේ විද්‍යාත්මක බවය. පසිඳුරන්ට ගෝචර නොවන දේ මිථ්‍යාවය. මේ මිනුම් දණ්ඩ තුළ රාවණා මිථ්‍යාවකි. රාවණා චිත්‍රයද ඔළු දහයක් ඇති අමුතු සත්වයෙකි. ‍ජ්‍යොතිෂය, මන්ත්‍ර, භූත විද්‍යා චිත්ත බල යන මේ සියල්ල මිථ්‍යාවන් බව මිෂනාරි අධ්‍යාපනය උගන්වයි. නමුත් චතුරාර්ය සත්‍යය, ආර්යය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය ආදී පසිඳුරන්ට ගෝචර නැති දේ මිථ්‍යාව බව කීමට අධ්‍යාපනය බියවේ.

රා යනු සූර්යාය. වණ යනු පිරිස හෙවත් කණ්ඩායමයි. (උදා: සිව්වනක් පිරිස) මේ අනුව රාවණා යනු සූර්යය වංශ මිස පුද්ගලයෙකු නොවේ. අප රාවණා යයි හඳුන්වන මනුෂයාගේ නම ‘රවුල්’ වූ බව සිදත් සඟරාව හා සැලළිහිණි සංදේශය පවසයි. යක්ෂ ගෝත්‍රිකයන්ගේ  වර්ගපූර්ණිකාව ලියවිල්ලට අනුව එම පුද්ගලයා රණබා නම් වෙයි. (පූජ්‍ය මානෑවේ විමලරතන හිමි) ශක්ති යනු සූර්යය ශක්තියයි. ලොව හැසිරවෙන්නේ ඉන් බව බටහිර නවීන විද්‍යාවද පිළිගනී. ශක්ති නිතරම චලනය වේ. ඉන් පංච මහා භූත (පඨවි, ආ‍පෝ, තේ්ජෝ, වායු, ආකාස) හට ගනී. පංච මහා භූත මිශ්‍රවීමෙන් ද්‍රව්‍ය ඇතිවේ. ද්‍රව්‍යවලින් මිනිසාට විවිධ දේ නිෂ්පාදනය කළ හැක. නමුත් ද්‍රව්‍යය සෑදීමට පළමු හුදු ශක්ති අවස්ථාවේදීත් පංච මහා භූත අවස්ථාවේදීත් ඒවා ප්‍රයෝජනයට ගෙන මිනිසාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට දන්නා බුද්ධිමත් මිනිස්සු සූර්ය පිරිසගේ සූර්යවංශය වෙති. මේ සඳහා දියුණු විඥානයක් අවශ්‍යය. ගල් යුගය ලෙස බටහිරුවා විසින් සමච්චලයට ලක්කරන දුරාතීතයේ ශක්තියෙන් වැඩ ගැනීමට හෙළයාට හැකිවිය.

ශක්තියෙන් වැඩ ගන්නේ සෘෂිවරුන් හා මුනිවරුන්ය. සම්මත ජීවිතයෙන් ඈත්ව ගල්ගුහාවල ඉදිමින්, ඉණට රෙදිතඩක් හැඳ, අනුන් දුන් දෙයකින් යැපීි ඉතා දළ ජීවිත ගත කළ මොවුන් වැඩි කාලයක් භාවනාවෙන් සමාධිගතව තම විඤ්ඤාණය සමග ජීවත් වූහ. මනස ශරීරයෙන් පිටතට ගෙන අභ්‍යවකාශයේ පවා සැරිසරා දැනුම ලබාගෙන නැවත නැවත ශරීරයට ඇතුළුවීමට මොවුනට හැකිවිය. ඔවුන්ගේ උපදෙස් හා අවවාද පරිදි එකල මිනිස්සු ජීවත් වුහ. මීට සෘෂි පාලනය යයි කීහ. රාවණා ලෙස අද හඳුන්වන රණබා (වර්ගපූර්ණිකාවට අනුව) සෘෂි පාලකයෙකු මිස රජෙකු නොවේ. රාමායන ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී රාවණ වංශිකයන් හා රණබා පටලාගෙන King Rawana යයි කී නිසා අපද තවමත් සිංහලෙන් රාවණා රජ යයි කියමු.
මේ ලිපියේ ඉදිරියේදීත් පාඨකයාගේ පහසුව තකා රාවණා යන්න භාවිත කරමු. නමුත් අප රාවණා යයි වරදවා පවසන්නේ වූ රවුල් සහ රණබා යන නම්වලින් හඳුන්වන පුද්ගලයා ජීවත්වූ කාලය නිශ්චිත කල නොහැක. එහෙත් මහායාන ලංකාවතාර සුත්‍රය ඇසුරින් බුදුන්ට සමකාලීන බව කී විට එය ප්‍රතික්ෂේප වන්නේ බුදුන්ට පෙර ක්‍රි.පූ. 8 සියවසේ විසූ නාගර්ජුන ආයුර්වේද ආචාර්යරවයා රාවණ ගැන  විස්තර ලියා ඇති බැවිනි. රාමායනයේ සඳහන් දණ්ඩකාරණ්‍යයේ අගනුවර වන ජනස්ථාන් මුහුදට ගිළුනුබව එහි කියැවෙන අතර 2003 වසරේදී මෙම ඉසව්වේ අඩි 4000ක් මුහුදු පත්‍ලේ තිබි වසර 10,000ක් පැරණි නගරයක නටබුන් හමුවී ඇත. මෙය ලෝක ඉතිහාසයට පෙර යුගයකි. මේ අනුව රාවණා යුගයේ පැරණිම සීමාව වසර 10,000ක් වෙයි. අවුරුදු 6000 පැරණි ලොව පැරණිම ලෙස සලකන බැබිලෝනියාවට වඩා රාවණා පැරණිය.

වාල්මිකීගේ රාමායනය ක්‍රි.පුර්ව 4වන සියවසේදී මහා කාව්‍ය සම්ප්‍රදායට අනුව ලියවී ඇත. මහ ඇලෙක්සැන්ඩ්ර්ට පළමුව රාමායණය ලියා තිබූ බැවින් ඒ වනවිට භාරතය දැනසිටි ප්‍රබලම පුද්ගලයා රාවණාය. මේ වනවිට (ක්‍රි.පූර්ව 7 වන සියවසේදී) අයෝධ්‍යාව ජනාවාස වී තිබුණි. එබැවින් දසරථ රජු පුත් රාම වීරයා ලෙසද මහා බලසම්පන්න රාවණා දුෂ්ටයා ලෙසද ගෙන රාමායණ කාව්‍ය කරන ලදී. රාමායණයෙන් සියවස් 2-3 පසුව ලංකාවෙ හෙළ අටුවා යටත ජාතක කථා  නිර්මාණය කරන ලදී. එහි අයෝධ්‍යාහි දස රථ රජුට රාමා, සිතා හා ලක්ෂ්මන් නමැති දරුවන් තිදෙනෙකි. දොළොස් අවුරුද්දට වනාන්තරයට ඔවුහු ගියහ. සීතා රාමාගේ සොහොයුරිය මිස බිරිඳ නොවේ. ජාතක කතාවේ රාමා යනු බුදුන්ගේ බෝධිසත්ව අවස්ථාවකි. දසරථ ජාතකයේ රාවණා රජෙකු නැත. එනිසා රාමායණයේ ඇත්තේ රාවණා චරිත නිරූපණයක් පමණි.

පුරාණ ග්‍රන්ථවලට (මත්ස්‍ය පුරාණය විය හැක) අනුව හෙළදිව වීරකෝච නම් කුමාරයෙකු පාතාලයට (පසුව ඉන්කා දකුණු ඇමෙරිකාවේ) ගොස් ජනාවාස ඇතිකර ශිෂ්ටාචාරයක් බිහිකර තිබේ. මේ මිටිකාකා විල අසල ටිවනකු නමැති ප්‍රදේශයේය. මොහු හිරන්කසුබ් මුනුපුරු පරලැදි (ප්‍රාලද)ගේ පුත්‍රයාය. බ්‍රැගු මහර්ෂි විසින් දේව අධ්‍යාපනය අරඹා පාලන නීති හා රාජධර්ම උගැන්වූ පසු අලුත් රටකට ඔහු ගියේය. ඔහුගේ අක්කර 6ක භූමියේ දෙවොල හා ගලින් නෙලූ රුව අදත් ඇත. මෙයද සූර්ය වන්දනා සහිත සූර්ය ශක්තියෙන් වැඩගත් ශිෂ්ටාචාරයකි. රාවණා නැමැති වීරවරයෙකුට ගරු කිරීම්, පූජා පැවැත්වීම්, යාච්ඥා කිරීම් තායිලන්තයේ, කාම්බෝජයේ හා ඉන්දුනීසියාවේ අදත් සිදුවේ. සිංහපුරය (සිංගප්පූරුව) ලංකාපුරයට සමකාලීන පුරයක් වන්නටද ඇත. මේ පැරණිම පෞර රාජ්‍යයන්ය. (City States) 19 හා 20 සියවස්වලදී ලොවපුරා ජයකෙහෙළි නැංවූ පරිණාම වාදය නමැති මිථ්‍යාව නිසා මිනිසා වඳුරාගෙන් පරිණාමය වී නොදියුණුම මිනිසාගේ පටන් අනුක්‍රමයෙන් දියුණු වී ගොස් බුද්ධියෙන් උසස්ම මිනිසුන් අද සිටින බව කියැවේ. හින්දු ඉගැන්වීම් අනුව මුල්ම කෘත යුගය මනස දියුණුම යුගයයි. ද්‍රව්‍යමය තණ්හාව නිසා ද්වාපර හා නේත්‍රා යුගවලදී මනස පිරිහී ද්‍රව්‍යමය නිෂ්පාදනයට බටහ. වර්තමාන කලි යුගය හුදු ද්‍රව්‍ය විඥානයෙන්ම අවශ්‍යතා සම්පාදනය කර ගනී. ශක්තිය මිථ්‍යාවක් බව කියූ දියුණු ලෝකය නිශ්ශබ්ද වුණේ 1998දී පිරමිඩ් දේවාලයක තිබි අවුරුදු 4500 පැරණි මැටිටයෙන් අඹන ලද ගුවන්යානා 4 දැකීමෙන් පසුවය.

සුන්දර වූ කතාවලින් තොරව ඓතිහාසික රාවණා කෙනකු දැකීම සඳහා ප්‍රධාන සාක්ෂි 4ක් හා අප්‍රධාන සාක්ෂි ගණනාවක් ඇත.   එම ප්‍රධාන සාක්ෂි 4 නම්,

1. වෛද්‍ය විද්‍යාවට රාවණාගේ දායකත්වය
2. ‍ජ්‍යොතිෂය නොහොත් අහස් සතරට රාවණාගේ දායකත්වය
3. නැටුම්, ගැයුම්, වැයුම්වලට රාවණාගේ දායකත්වය.
4. අදත් භාවිත වන රාවණා සටන් ක්‍රම හා යක් බෙරය.

වෛද්‍ය විද්‍යාවට දායකත්වය: පුලස්ති වෙද පරම්පරාවට රාවණා අයත්ය. මේ පරපුරේ හැම අයෙකුටම ඖෂධ උද්‍යානයක් විය. රස වෙදකමේ ප්‍රාතිහාර්යය සතරකි. 1. අහසින් ගමන් කිරීම, 2. නොපෙනී සිටීම, 3. ශරීරය ජරාවට නොහොත් සැමදා තරුණ්‍යයෙන් විසීම, 4, මියගිය පසු දේහය කාලාන්තරයක් (අධිෂ්ඨානයට අනුව) විනාශ නොවී පැවතීම ඒ සතරයි.
රස බෙහෙත් වළඳා මහලු නොවී සෑමදා තරුණ ලෙස සිටිය හැක. නාගර්ජුන ආචාරීන් විස්තර කර ඇති පරිදි ශරීරය නිරුඪවීමෙන් පසුව අධිෂ්ඨානයට අනුව කාලයක් ශරීරය විනාශ නොවී පැවැතීම අපහට තේරම් ගැනීම අපහසුය.
මෙහිදී පසිඳුරන් නිරුඬවීමක් සිදුවන අතර (නින්දයාම සිදුවූ කල මෙන්) හදවත් මත ක්‍රියාකාරී රුධිර ධාවනය සඳහා ශක්තිය ශරීරය ඉවත්වී නොයාමක් සිදුවේ. ගෝවේ ඇති රාහුල හිමියන්ගෙ යයිද ශාන්ති ක්‍ෂේවියර්ගේ යයිද පවසන ශරීරයද මෙබඳු තත්ත්වයේ පැවැත්මකි.

ජ්‍යොතිෂ්‍ය දායකත්වය : සූර්ය ශක්තිය ‍පොළොව වෙත ළඟාවන්නේ වායුගෝලය හරහා ගමන් කිරීමෙනි. වායුගෝලය යනු අහසයි. එබැවින් අහස් සතර ලෙස හෙළයන් විසින් ‍ජ්‍යොතිෂය හැඳින්වූහ. මේ ශක්තිය ‍පොළොවේ මිනිසුන්ට, සතුන්ට ගස්වැල්වලට ආදී ජීවීන්ට බලපාන ආකාරය ඉන් අදහස් වින. ඒ ගැන රාවණාගේ දායකත්වය ඉතා පුළුල්ය.

විශ්‍රවස් නමැති රාවණගේ පියාද “උමා ‍ජ්‍යොතිෂය” ලොවට හඳුන්වා දුණි. රාවණ විසින් එය තවදුරටත් දියුණු කරන ලදී. “සූර්ය සිද්ධාන්ත” රාවණාගේ විශිෂ්ට කෘතියකි. “ශක්තිසංඛ” සංකල්පය නමැති ශක්ති විද්‍යාව එහි ඇතුළත්ය. ආයුර්වේදයේ ඇති “ද්‍රව්‍ය සංඛ සංකල්පය” ඊට වඩා අගයෙන් අඩුය. ද්‍රව්‍යය බවට පත්වීමට පළමු ශක්තියම ප්‍රයෝජනයට ගන්නා අයුරු ඉන් කියවේ. සූර්ය සිද්ධාන්ත න්‍යායන් හැරුන විට ‍ජ්‍යොතිෂය ප්‍රායෝගික ලෙස ප්‍රයෝජනයට ගන්නා ශිවාලිඛිතය, දඬුමොනරය, යව පිම්ම, ගුරුළු පිම්ම, පංච පක්ෂි, ඉඳුරු ගුරුළුව, යමකාලය වැනි නැකැත් හා ශුභාශුභ විධි හඳුන්වා දී ඇත. දඬුමොනරය යනු ගුරුත්වාකර්ෂණය නැවැත්විය හැකි නැකතයි. ගුවන් යානයට දඬුමොනරය යන නම භාවිත වූයේ රාවණගෙන් පසුව විය හැක.

තිබ්බතයෙන් ලැබුණු සංස්කෘත “වෛමානික ශාස්ත්‍ර” නමැති ග්‍රන්ථය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ තිදෙනාගේ නායක මහාචාර්ය රූත් රේනර් එය හෙළිදරව් කළාය. නමුත් පැරණි විමාන තාක්ෂණයට අනුව එක්සත් ජනපද ගුවන් හමුදාව නිපදවූ TR-3Bයානයට ඉහළ වායුගෝලයට හා අභ්‍යවකාශයට යා නොහැක. මන්ත්‍ර හරිහැටි උච්චාරණය නොවන නිසා ඔවුනට ආලෝකය උණුසුමට පරිවර්තනය කළ නොහැකි විය.

රාවණ හෝරාව නමැති ශුභ හෝරාවක් ඇත. එය විශේෂයෙන්ම යුද්ධයට යාමටය. මෙම හෝරාවෙන් 1803 ජුනි 24 දින බ්‍රිතාන්‍ය බලවත් යුද හමුදාවක් සමග පැය 10ක් සටන් කළ සිංහල ගරිල්ලන් 300 පමණ පිරිසකට විශිෂ්ට ජයග්‍රහණයක් අත් වූ බව ජේම්ස් කෝඩ්නර් වාර්තාව සපයයි. 3000ක හමුදාවෙන් තිදෙනෙක් පමණක් පණපිටින් ආපසු කොළඹට ආහ.

මහනුවර  විමලධර්මසූරිය බිසව වූ දෝන කතිරිනාගේ ගුරුවර හරැන්සිස්කෝ නිගරෝ පියතුමාට උඩරට පුරා නිදහසේ ඇවිදීමට අවසර තිබුණි. ලග්ගලදී ගම්වැසියන් නිගරෝ පියතුමාට පවසා ඇත්තේ ඉලක්ක ගල නොහොත් ලග්ගල යනු රාවණ විසින් පෘථිවි ගෝලයේ අංශක 360 මැනීමේදී මධ්‍යම දේශාංශකය වූ බින්දුව (අද ග්‍රිනිච්) ලෙස යොදාගත් ස්ථානය බවය. Tempural and Spiritual Conquest of Ceylon හි මේ බව සඳහන්ය.

අදත් ගම්මඩුවෙහි අලුයම 3-4 අතරත නටන ‘තෙල්මේ’ නැටුම් සුර්ය උපහාර නැටුමකි. මෙයද රාවණගේ නිර්මාණයකි. රතු සහ තැඹිලි (රන්) පාට ඇඳුම් ඇඳගෙන නටන නැට්ටුවා කැරකෙන්නේ අංශක 23 1/2 ඇලවීගෙනය. එසේ ඇලවී කැරකෙමින් වෘත්තාකාරව වටේට යයි. මේ සූර්යයා වටේට පෘථිවියේ ගමන නිරූපණය කරති.

1818 දී ඌව – වෙල්ලස්ස නිදහස් අරගලය නිසා සිංහල යුද ශිල්ප හා අවි ආයුධ සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. එබැවින් ඉන්පසු එය රැකවරණය පැතුවේ තොවිලය තුළය. යක් බෙර, යක් නැටුම්, දහඅට සන්නි, ආදී යුද අංග සියල්ල තොවිලය තුළට රිංගීය. 20 සියවසේදී පෙරහැර තුළට අංගම් රිංගන ලද්දේ “ගුස්ති” යන නමිනි. අත් පා හරඹ ඉන් අදහස් වුණි. අංගම් සෙබළා අද අංගම් ශිල්පියා වී අනුන් පිනවන තැනට පත්ව ඇත.

රාවණ යළි පහළවීම : රාවණ යළි එතැයි බියක් ඇත්තේ හින්දූන්ටය. රාජකීය ආසියාතික සංගමය ලංකා ශාඛාවද 17.07.2010 දින ‘රාවණ මිථ්‍යාව“ නමින් එක් දින සම්මේලනයක් මහවැලි කේන්ද්‍රයේ පැවැත්වීය. නමුත් රාවණ රැල්ල නැගෙන්නට පටන්ගත්තේ ඉන් පසුවය. 20 සියවස පුරා පන්ති කාමර අධ්‍යාපනය තුළින් පාසල් ගිය අය රාවණ ගැන දැන සිටියහ. ඒ රාමායනයේ එන ප්‍රධාන චරිතයක් ලෙසටය. නමුත් 21 සියවස ආරම්භයේ පටන් ඔහු ඓතිහාසික පුද්ගලයෙකු ලෙසද අනාගත රටේ ගැලවුම්කරුවා ලෙසද සලකන මානසික වාතාවරණයක් ගොඩනැගී ඇත. මෙය විද්‍යාත්මකව මෙසේ විග්‍රහ කළ හැක.

දිග ශීත සෘතු සහිත අයහපත් දේශගුණයෙන් පීඩා විඳි සුදු ලෝකය 19 සියවසේදී අලුත් මගකට අවතීරණ විය. එනම් ‍පොළොව යට ඇති ඛනිජ, ලෝහ, තෙල්, වායු ආදිය හාරාගෙන මතු පිටට ගෙනවුත් කර්මාන්ත ඇතිකිරීමයි. වාණිජ්‍යත්වයද ඒ සමග ඇති විය. අද එහි තුන්වැනි ඉලෙක්ටේ‍රා්නික අතුරු යුගය එළැඹී ඇත. බටහිර දාර්ශනිකයන් මත පළකරන පරිදි 2080 පමණදී මෙම ‍පොළොවෙන් ලබාගන්නා සම්පත් අවසන් විය හැකිය.

හාරාගන්නා සම්පත් අවසන් වී ඉලෙක්ටේ‍රා්නික යුගයද අවසන් වූ පසු ලෝකයට කුමක් වේද? ද්‍රව්‍ය බලය නැති තැනදී සෘජු සූර්ය ශක්ති දක්වා නැවතත් ආපසු යාමට සිදුවනු ඇත. ශක්තියෙන් වැඩ ගැනීම ගැන දන්නේ රාවණගේ රටේ සිංහලයන්ය. ඔවුන්ට නැවතත් නව ලොවක් ආරම්භ කිරීමට සිදුවනු ඇත. 2100 වසරට පෙර මෙය සිදුවීමටද පුළුවන.

රාවණ යළි නැගිටීම යනු නැවතත් ඔහුගේ වෙදකම, ‍ජ්‍යොතිෂය ආදී ශිල්පයන් පණ ගසා ඒමය. එසේ නැතිව පුද්ගලයෙකු මරණයෙන් නැගිටීම නොවේ. ස්වාභාවික ගොවිතැනින් ආහාර නිපදවීම වඩා හොඳින් දන්නේ සිංහලයාය. මෙබඳු තත්ත්වයක් උදාවුවහොත් ඒ නැවතත් රාවණා නැගිටීම වන්නේය. නමුත් ශක්ති ප්‍රයෝජනයට ගෙන කරන මානව කටයුතු නිවර්තක ලෝකයට සිමාවනු ඇත. සුදු ලෝකය නොවැදගත් වී අඳුරේ ගිලෙනු ඇත. සතාට ඇති ඉව මිනිසාටද ඇත. එය යටපත් වන්නේ දැනුමෙනි. දැනුම පලක් නැතිවිට ඉව මතුවේ. රාවණ හසුවන්නේ එම ඉවටය.

About ශ්‍රී ලංකා ගාර්ඩියන්

Related posts