දයාසේන ගුණසිංහ : තීරු ලිපියෙන් මතු වුණු පත්තරකාරයා

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ
උපුටා ගැනීම : සිළුමිණ

මා මේ සටහන ලියන්නේ, දයාසේන ගුණසිංහ නමැති මහා පත්තරකාරයාගේ ලේඛන ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් පිළිබඳව කරුණු බිඳක් වාර්තා කර තබන අටියෙන් මිස, කවියකුත්, කෙටිකතාකරුවකුත්, සාහිත්‍ය පරිවර්තකයකුත් හැටියට ඔහුගේ විශිෂ්ට නිර්මාණ මෙහෙවර ගැන කිසිවක් ලියන අදහසින් නොවේ. මේ සටහන උදෙසා, මා තෝරාගත් විශේෂ නිමිත්ත ඔහුගේ තීරුලිපි කලාවය.

ඒ කරුණට අවතීර්ණ වන්ට පෙර, ඔහුත් මාත් පිළිබඳ පෞද්ගලික කාරණා කිහිපයක් හෙළි කොට නොදක්වාම බැරිය. මන්ද යත්: එකරුණු ස්වල්පය අප දෙදෙනාගේම පත්තර කලා ජීවිතයත්, අවශේෂ ලේඛන ජීවිතයත් හා බැඳී පවතින බැවිනි. අප දෙදෙනාම ගුරුවෘත්තිය හැරදමා, පත්තරකාරයන් වනු උදෙසා ලේක්හවුසියට බැඳුණේ එක ම අවුරුද්දේය: ඒ කියන්නේ, 1963 වසරේ අග භාගයේදීය. ඔහු ගුරුවෘත්තිය අත්හැර මාතර සිට ලේක්හවුසියට පැමිණියේය. මම ගුරු වෘත්තිය අතහැර, කුලියාපිටියේ සිට ලේක්හවුසියට අවතීර්ණ වූයෙමි. අප දෙදෙනාම තෝරාගනු ලැබුණේ ‘දිනමිණ’ පත්තරයටය. දයාසේන ගුණසිංහ ප්‍රවෘත්ති අංශයට යැවිණි. මා යවනු ලැබූයේ විශේෂාංග අංශයටය. හමසක් ඉක්මෙන්ටත් පෙර මම ලේක්හවුසියට ‘ආයුබෝවන්’ කියා මහමඟට බැස්සෙමි. දයාසේන ලේක්හවුසියේ සිංහල ඉංගිරිසි පත්තර දෙපසම බබළවමින් එහි බොහෝ කලක් රැඳී සිටියේය.

මේ කාලය තුළ අප දෙදෙනාගේ මිත්‍රත්වය අලුත් වෙමින්ද පරණ වෙමින්ද දිගට ම පැවැත්තේය.

දමනය කළ නොහෙන දෛවය, යළිත් වරක් ලේක් හවුසියට එන්නට මට ‍පාර පෙන්නුවේය. ඒ, 1996 වසරේ සැප්තැම්බරයේදීය. ඒ, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා හැටියටය; පත්තරකාරයකු හැටියට නොව, පත්තර කරවන නිලධාරියකු හැටියටය.

‘සිව්දෙස’ මාසික සඟරාව කරවමින් සිටි දයාසේන ගුණසිංහයන් මෙලොව හැර ගියේද 1996 වසරේම ඔක්තෝබරයේදීය. ලේක්හවුසියේ මතු නොව, ශ්‍රී ලංකාවේ ම පත්තර කලාව බැබළවූ මේ මහා පත්තරකාරයාට අවශ්‍ය බුහුමන් දක්වන්ට මහරගම ගම්මාන පාරේ පිහිටි ඔහුගේ නිවෙසට මා ගියේ පත්තර මහගෙදරින් ඔහු වෙනුවෙන් එවක පිරිනැමුණු ‘සොච්චම් මුදලක්ද’ සාක්කුවේ දමාගෙනය.

එතෙකුදු වුවත්, අප ගැන සරදම් බසක් ගැබ් කොට තීරුවක් ලියන්නට ඔහුට හැකියාවක් නොවිණි. ඒ වන විට ඔහුත්, ඔහුගේ පන්හිඳත් නිසලව වැදහෙව සිටි හෙයිනි.

පත්තරකාරයකු හැටියට දයාසේන ගුණසිංහ මහම දස්කම් පෑවේ – සුරුවිරුකම් දැක්වූයේ – තීරුලිපි කලාවෙහිදීය.

දයාසේන ගුණසිංහ තීරුලිපි රචනයට පිවිස ඇත්තේ, ඔහුගේ පුවත්පත් කලා ජීවිතයේ මුල්ම සමයේදීය. ඉකුත් සියවසේ හැත්තෑව දශකය වන විටත්, ඔහු ජනකාන්ත තීරු ලිපි රචකයකු බවට පත්ව සිටියේය. ඔහුගේ මුල්ම තීරුලිපි පෙළ ලියවුණේ සිළුමිණ පුවත්පතටය. ඒ, ‘රයිගම්රාල’ යන සිරසිනි. රයිගම්රාලගේ තීරුලිපිය තරමක් දිග ව්‍යක්ත රචනයක් විය. ඔහු දිවයින ඉරිදා සංග්‍රහයේ කතුවරයා බවට පත් වීමෙන් පසුවද ඒ තීරු ලිපියම තවදුරටත් එම පුවත්පතෙහිදීද පවත්වාගෙන ගියේය.

පත්තරකාරයකුගේ ස්වාධීනත්වය උපරිම තලයෙන් භාවිත කරමින් තීරුලිපි කලාවෙහි ඔහු පෙළහර පෑවේ ඉරිදා දිවයින කරන සමයේදීය. රයිගම්රාලට අමතරව වරින් වර කලින් කලට ඔහු විසින් එම පුවත්පතටම තවත් තීරු ලිපි ගණනාවක් ලියන ලද්දේය. සීයාගේ කොලම, උකුස්සා, භූත රිපෝටර් සහ හලෝ හලෝ යන සිරස් තල ඔහු ඒ සඳහා තෝරාගත්තේය. මේ තීරු රචනා පසම එකිනෙකට වෙනස් පස් වගක රීතියෙන් ලියන ලද බැව් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයකි.

මෙකී පංචවිධ තීරු රචනා අතර සීයාගේ කොලම පාඨකයන් අතර ජනප්‍රියත්වයට පත් වූවා පමණක් නොව, සමාජයේ විවිධ තලයන්හි කිසියම් කම්පනයක් ඇති කිරීමටද සමත් විය.

සමස්තය ගැනම ඉඟියක් දෙනු උදෙසා, ඔහු 1982 ඔක්තෝබර 31 වැනි දින, දිවයින ඉරිදා සංග්‍රහයට ලියූ සීයාගේ කොලම මඳක් විමසා බලන්ට අදහස් කරමි. මෙකී අවධිය ජේ.ආර්. ජයවර්ධන ස්වකීය විධායක බලය තහවුරු කරගෙන, ඒ බලයෙන් හොඳටම උදම්ව, ස්වකීය දේශපාලන විරුද්ධවාදීන් සමච්චලයට ලක් කරමින් ස්වකීය බලවත් ඨානන්තරයේ විදුරවි සෙයින් බැබළෙමින් සිටි අවස්ථාව බැව් අමතක කරනු නොයෙදෙයි. විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක අරමුණු කරගෙන ජයවර්ධන විසින් දමා ගසන ලද දේශපාලන අත්බෝම්බයක් වූයේ, තමාට රකින්ට පරපුරක් නොවූ බවය. රකින්ට පරපුරක් ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායකට බැව් එකී ප්‍රකාශයෙන් මොනොවට ගම්‍යමාන වූයේය. ඔහු කියා සිටි අනෙක් කාරණය වූයේ, තමාට රකින්ට ඇත්තේ ජනතාව පමණක් බවය.

ස්වකීය තීරුවෙන්, දයාසේන ගුණසිංහ උපහාසයට ලක් කරන්නේ, එදවස බලයේ හිණිපෙත්තෙහිම සිටි රාජ්‍ය නායකයාය; ඔහු‍ගේ උදාරම් වහසි බසය.

සීයාගේ කොලමේ කථානායකයා ‘මාරපුත්තරයා’ ය. මාරපුත්තරයාට, ඔහුගේම තරුණ වයසේ කොලු රැලක්ම වෙති. ඇත්ත වශයෙන්ම සීයා, මාරපුත්තරයා ප්‍රධාන කොට ඇති මේ කොලු රැළේ සන්නිවේදකයාය. ඔහු එය ජනතාවට සන්නිවේදනය කරන්නේ, තමාගේම බසිනි; තමාගේම රීතියෙනි; සඟවාගත් කැපෙන උපහාසයෙන් යුතු රචන උපක්‍රමයකිනි.

සීයා කැප්පෙටියා රිකිලි ටිකක් කපාගන්නා අදහසින් දෙණිකඩ පැත්තේ යන ගිය විට දකින දර්ශනයෙන් ඔහු වික්ෂිප්ත වෙයි. මාරපුත්තරයා කජු ගහක පහළ අත්තකට නැඟී අතපය දික්කරමින් ගිරියත් පුප්පාගෙන මෙලෝ සිහියක් නැතිව බෙරිහන් දෙයි. මාරපුත්තරයාට සවන් දීගෙන සිටින ඔහුගේ නඩයේ කොල්ලන් සහ සීයා අතර සිදු වන කථෝපකථනයෙන් බිඳක් මෙසේ ය:

“ඈ බොලව් අපේ එකාට රක්තයා ඉහට ගහල ද? අද හවහ ගෙදරින් පිටවෙන කොට අපූරුවට හිටපු කොලුව නෙව…”

“මොන කෙහෙල්මලක්වත් වෙලා නෑ සීයේ, ඔය දේශපාලන කතා පවත්වන්න පුරුදු වෙනවා නෙව.” එහෙම කිව්වෙ සෝමෙ කොලූ.

“අහවල් දේකටද බොලං ඒ?”

“දේශපාලනේට බහින්න මිසක් වෙන ඉටි ගෙටියකටද ස‍ීයේ?”

“මේ මොන හෙණ ගෙඩියක්ද ඔළුවට පාත් වෙන්න යන්නෙ! ඈ බොල සෝමෙ කොලුවො, ඔය අපේ මාරයා දේශපාලකයෙක් වෙන්නද හදන්නෙ?”

“ඇයි නරකද? පේනව නේද හිටල දෙන හැටි. ෂහ්! නියම කතාව!”

කිව්වත් වගේ ම, මාරපුත්තරයාගේ කතාව හරිම ගාම්බීර වෙතැයි සීයා අප අමතා කියයි. මාරපුත්තරයාට නොපෙනෙන සේ ඔහුගේ කතාවට සවන් දෙන සීයා ඒ කතාවෙන් අවශ්‍යම බිඳක් පාඨකයාට ඉදිරිපත් කරයි:

“…. මට තර කරන්න ඇටිකෙහෙල් ගෙඩියක් නෑ. තොප්පියක් පලඳන්න තරම් ඔළුවක් නැහැ. මගේ ඇටිකෙහෙල් ගෙඩිය තමුන්නාන්සේලා. මම දාන තොප්පියත් තමුන්නාන්සේලාට ඇර වෙන කාට දාන්න ද?”

මාරපුත්තරයාව ආවේශ වී සිටින්නේ බලවත් විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බව විචාරවත් පාඨකයා වටහාගනියි. ඔහු ජනතාව අමතන්නේ මේ කැරලිකාර නාහෙට නාහන ඉලංදාරි නාම්බාගේ දෙකට ම නැති බසිනි. ජේ.ආර්. ජයවර්ධන, තමාට රකින්ට නැතැයි කියන පරපුර, මාරපුත්තරයාගේ බසින් ‘ඇටිකෙහෙල් ගෙඩියකි’.

ඔහු තම පරපුරට පලඳවන්ට නැතැයි කියන ඔටුන්න නිකම්ම ‘තොප්පියකි’. ඒ තොප්පිය වුණත්, පලඳාගන්ට තමාට ඔළුවක් නැතැයි මාරපුත්තරයාගේ බසින් රාජ්‍ය පාලකයා ලවා කියන හැටි තීරු රචකයා දකියි. ඒ තොප්පිය පලඳවන්නෙත් ජනතාවටය.

මේ උත්ප්‍රාසය ඉතා ම බරපතළය. දෙපැත්ත ම කැපෙන්නේ වෙයි. රාජ්‍ය නායකයා තරමටම, ඔහුගේ බහට රැවටී සිටින ජනතාවද තීරු රචකයාගේ ප්‍රහාරයට ලක් වෙති.

දැන් ඉතින්, සීයාගේ බසටත් සවන් දෙන්න:

“කිව්වට විශ්වාස කරන්න ආයිබොවං… මාරපුත්තරයා හොඳට සද්දෙ දාල ඔහොම කියාගෙන කියාගෙන යන කොට, රැස්වීමේ හිටිය හැම එකාම බොහොම සර්දාවෙන් ඌ දිහා බලාගෙන කන් හොලව හොලවා නගුටු වන වනා හිටියා. වෙන එකක් තියා ගබ්රියල්ගෙ කරත්තෙ බඳින අර නාහෙට අහන්නෙ නැති මොල්ලියත්, දැපෙන වැටිලා හරියට පූස් පැටියෙක් වගේ උන්නෙ.”

මාරපුත්තරයගේ කතාවට, සීයාගේ කළු ගොනාත් ප්‍රතිචාර දක්වයි; උන් තප්පුලන්ට වෙයි. මාරපුත්තරය‍ාගේ ගැන්සියේ කොල්ලෙක් කියන්නේ ඒ ‘ගවයාට’ ගවහර්ලාටත් වඩා මොළේ ඇති වගය.

තමාත් සමඟ විහිළු නොකරන්නැයි සීයා කොලුවාට අවවාද කරයි. එබැවින් කොලුවා දෙන පිළිතුර මෙසේය.

“විහිළුවක් නොවෙයි සීයෙ. ආදි කාලෙ ඉඳලම ආණ්ඩුවයි ගවයයි අතර ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා. දැන් ඔය සෙල්ලිපිවල හෙම අපේ රජවරුන්ට වැහැබ් කියලා යොදල තියෙන්නෙ මොකට ද? වැහැබ් කියන්නෙ වෘෂභයට. ඒක නම්බු නාමයක්. ගොන් කියන වචනෙත් බොහෝම ආනාදි විදිහට තමයි සෙල්ලිපිවල යොදලා තියෙන්නෙ. ඉතිං සීයෙ අපි ඔක්කොම රජවරු නිසා ඔය පට්ටම් ටිකත් අපටමයි. වෙන එකක් තියා සුද්දටත් ඔය ගව කෑල්ල නැතුවම බෑ. ආණ්ඩුවට ගවන්මන්ට් කියලා ඉංගිරිසියෙන් කියන්නෙ කට කහනවටද? ඒ කියන්නෙ ගවයන් පාලනය කිරීම කියන එකයි.”

කොලු නඩය ම සීයාට හිනා වෙයි. ඒත් සීයාගේ මුනුබුරා වන මාරපුත්තරයාට නම් සීයා ගැන දුක හිතෙයි. අන්තිමේදි මාර පුත්තරයා සීයා අමතන්නේ මෙ වදන්වලිනි.

“අපි හුඟ දෙනෙකුට රකින්න පරපුරු තියෙනව සීයේ. ඒත් කරන්න රස්සාවල් නෑ. රස්සාවල් කරන එවුන්ටත් බූදල් තර කරනවා තියා හැදූ වැඩූ දෙමවුපියන්ට දෙන්නවත් පිච්චියක් අතේ ඉතුරු වෙන්නෙ නෑ. හැබැයි අපි ඔටුනු පලන්ඳලා නම් දැන් හුඟක් කල්. නිකම් ඔටුන්නක් නෙවෙයි සීයෙ කටු ඔටුන්නක්. දැනට ඉතුරු වෙලා තියෙන්නෙ කුරුසිය කරේ තියන එක විතරයි. මෙහෙම එකතු වෙලා හිතේ අමාරුව යන්න හිනහ වෙන්නවත් පුළුවන් එතකං විතරයි.”

සැබැවින්ම, එවදන්, මේ වන විට මාරපුත්තරයාට ආවේස වී සිටින දයාසේන ගුණසිංහගේය.

සීයා ඇඟට පතට නොදැනී, සිය කොල ම අවසන් කරන්නේ මෙ වදන්වලිනි.

“මාර පුත්තරයා කිව්වෙ මොකක් ද කියලා මට හරියට ම තේරුණේ නෑ ආයිබොවං. ඒත් ඒ කතාවේ වැදගැම්මක් තියෙන බව නං මගේ ඉවට දැනුණා.”

එදවස, දයාසේන ගුණසේන ආමන්ත්‍රණය කෙළේ, දුර්දාන්ත සමාජ දේශපාලන පසුබිමෙක, බුද්ධියෙන් ද කරුණු කාරණා වටහා ගැනීමෙන් ද මෝරමින් සිටි තරුණ පරපුරකටය. ඔහු දිවයින – ඉරිදා සංග්‍රහයට ලියූ සීයාගේ කොලමේ සිටියේ මාරපුත්තරයාගේ තරුණ නඩයයි. ඉනික්බිතිව, ඔහු ලක්දිව පත්තරයට ලියූ සකල කොලමෙහි සිටියේ අන්දරේ ප්‍රමුඛ තරුණ පිරිසකි. ඉනුත් මෑත ‘හිරු’ පත්තරයට ලියූ අංකූරාගේ කැලෑසියෙහිදි හමු වුණේ මකරා ප්‍රමුඛ තරුණ කැලකි. සමාජය තුළ මතයක් – මතවාදයක් – ගොඩනඟන්නට ඔහු ලියූ තීරු සේම, ඒ තීරුවලට ඉලක්ක කරගත් සමාජ පන්තියද හේතුකාරක වූ වග විශේෂයෙන් පෙන්වා දිය යුතු කාරණයකි.

පසු භාගයේදී, ඔහු ඉරිදා ලංකාදීපයට රණරාල යන හිසින් ද, ලක්දිව පත්තරයට ම ‘හෙනහුරාගේ කොලම’ යන හිසින් ද, සිළුමිණ පතට ‘සගුරාගේ සංවාද’ යන මැයෙන් ද, ඔහු අන්තිමට ම කළ සිව්දෙස වාර ප්‍රකාශයට ‘මට හිතෙන හැටි’ යන සිරසින් ද තවත් තීරු ලිපි පද්ධතියක් ම ලියුවේය. ඒ කිසිවක් ගැන යන්තමින් හෝ සඳහන් කරන්ට මෙහිලා අවකාශයක් ඇත්තේ ම නැත.

දයාසේන ගුණසිංහ නමැති අසහාය තීරු ලිපි රචකයා පිළිබඳ මඳ ඉඟියක් හෝ පළ කරනු උදෙසා, ඔහු යොදාගත් ශීර්ෂ පාඨ කිහිපයක් මෙහිලා ගෙහැර දක්වනු කැමැත්තෙමි:

මේ, ඔහු ‘හෙනහුරාගේ කොලම’ තීරු ලිපියට යොදාගත් සිරස්තල කිහිපයකි.

“අෂ්ටෝපාධ්‍යයන්ගේ අජ කෝෂය”, “රයිගමයා සහ (උඩු) ගම්පොළයා”, “කොට්ටෝර් බෙන – වට්ටෝරු බණ”, “තාඩන බෝම්බය සහ පීඩන බෝම්බය”, “කනත්තේ විප්ලවය”, “වන්ධ්‍යාධිකරණය”, “මහා ශූන්‍යාගාරය”, “ඇසිඩ් දී සයනයිඩ් ගැනීමක්”, “වෛරසයක රසය”, “දෙදාහේදී සැමට ලුණු කැඳ”, “මාමේ මූ මීමා”, “පොන්ත නෝනාගේ ඇමීබා තෙල”, “රොනීගේ ලංකාවතරණය”, “වාර්ෂික ණය වැය”, “ලබු කිරිබත් කෑ නරයා”, “දිය (ලුණු) සේන කුමාරයාගේ කතාවස්තුව”, “අපහාසයේ (අප)හාස්‍යය”, “හමුදා මයං මහා රජ!”, “ලංකාවේ පත්තු සේවාව”, “මාක් ලෙනින් හා දාස කැපිටාල්”, “බේරුමක් නැති බේරිල්ල”

මේ, ඔහු ‘අංකුරාගේ කැලෑසියට’ යොදාගත් සිරස්තල කිහිපයකි:

“හව්ස් දැට් චැම්පයර්”, “හොඳ හිතින් අයින් වනු! බේබි හාමුලාට ඉඩ දෙනු!”, “අසත්පුරුෂාධිපත්‍යය”, “හස්තය සහ හස්තියා”, “සුනඛයාගේ වර්ෂය”, “ජරා කේස් එකක්”, “ඡන්ද බන්ධනය”, “මුරුග දේශපාලනය”, “ඔපරේෂන් බඩයාවී”, “හෙණ නොවදින කිල්ලෝටය”

(ඉහත දැක්වුණු ශීර්ෂපාඨ සියල්ල මා උපුටාගත්තේ, ‘දයාසේන ගුණසිංහ තීරු රචනා විමර්ශන’ යන හිසින් ප්‍රභාත් චින්තක මීගොඩ නමැති තරුණ ලේඛකයා විසින් ලියා පළ කරන ලද සාරවත් කෘතියකින් බැව් කෘතඥතා පූර්වකව සඳහන් කරනු කැමැත්තෙමි)

තීරු ලිපි කලාව තුළින් නැඟී සිටින දයාසේන ගුණසිංහ නමැති මහා පත්තරකාරයා, කවිය හා කෙටිකතාව තුළින් හැඟී සිටින සාහිත්‍යකරුවා තරමටම ප්‍රභාස්වර බැව් මේ කෙටි සටහන නිමා කරමින් ලියා තබනු කැමැත්තෙමි.

About ශ්‍රී ලංකා ගාර්ඩියන්

Related posts