ථේරවාදී හා මහායාන සම්ප්‍රදායන්හි දාර්ශනික බලපෑම

ථෙරවාදී භික්‌ෂූන් පෙර පරිදි බණ භාවනා කෙරෙහි නැඹුරුවෙමින් ජනාවාසයන්ගෙන් වියුක්‌තව ස්‌ව සම්ප්‍රදාය රැගෙන ගිය අතර, මහායානවාදීන් තවදුරටත් ජනතාව ආශ්‍රය නිශ්‍රය කරමින් ස්‌ව සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන ලදී. පැරකුම් රජුගේ සංඝ සාමග්‍රීය ස්‌ථිරසාර අර්ථවත් උත්සහයක්‌ නොවූ බවද මෙයින් පෙනේ.


රත්තොට උපනන්ද හිමි

බුදු සසුනේ චිරස්‌ථිතිය උදෙසා විවිධ යුගයන්හි විවිධ රාජ්‍ය විචාල පිරිස්‌ මහන්සිගෙන ඇත. සංඝ සාමග්‍රීය නිබඳව පැතුවේ ථෙරවාදී හා මහායානික සම්ප්‍රදාය විසින් ඇති කරගන්නා ලද අරගල හේතුවෙනි. නිකාය සාමග්‍රීය පිළිබඳව චූලවංශය මෙසේ කියයි. “මෙසේ මහා විහාරය ම මහෝත්සාහයෙන් ශුද්ධ කොට (වට්‌ටගාමිණි) අභය මහරජාණන්ගේ කාලයේ පටන් වර්ග භාවයට ගියා වූ අභයගිරි විහාරවාසී භික්‌ෂූන් ද මහාසෙන් නිරිඳු කල් පටන් භින්න වූ වෛතුල්‍ය පිටකාදී වූ අබුද්ධ වචනයම බුද්ධ වචනයයි ප්‍රකාශ කරන්නා වූ ප්‍රතිපත්තියෙන් පරාôමුඛය වූ ඡේතවන විහාරානුගත භික්‌ෂූන් ද නිරවශේෂ ගුණ යුක්‌ත වූ මහාවිහාර භික්‌ෂුන් සමඟ රත්නයන් හා කදාගල් සෙයින් සමඟි කරන්නට ආරම්භ කළේය….. මෙම විස්‌තරයෙන් මතුපිටින් දෘශ්‍යමාන වන්නේ, මහායානය යටපත් වී ථෙරවාදය පෙරට පැමිණි බව වුවත්, නිකාය සාමාග්‍රීය සිදු වූ අයුරින් හා රජුගේ ක්‍රියා කලාපයෙන් පසු කල ඇති වූ සංසිද්ධීන්ගෙන් ද පෙනී යන්නේ, මෙරට බුදු දහම පවිත්‍ර වූයේය යන්න අභියෝගයට ලක්‌වන බැව්ය. මෙම පසුබිම මත අප ප්‍රස්‌තුතය සනාථ කරලීම විෂයෙහි මහා විහාරය, අභයගිරිය හා ඡේතවන නිකායන්ගේ දාර්ශනික පසුතලයද විමසිය යුතුය.

අනුබුදු මිහිඳු මා හිමියන් විසින් මෙරට ජනතාවට හඳුන්වා දුන්නේ ථෙරවාදී බුදු දහමය. සමාජ සංස්‌කෘතිය හා ජනශ්‍රැති විෂයෙහි ප්‍රමුඛත්වය ලබාදුන් බැව්ද අප අමතක නොකළ යුත්තකි. මහාවිහාර සංඝ මූලය මගින් පවත්වාගෙන පැමිණි මෙම ථෙරවාදී බුදු දහම, වළගම්බා රාජ්‍ය සමය දක්‌වා කිසිදු හැල හැප්පීමකින් තොරව පැවතගෙන පැමිණියාය. ඇතැම් භික්‌ෂූන් අතරද මහායානික දර්ශනයට සමීප මතවාද පැවති බැව් දුටුගැමුණු රජු පිළිබඳ මහාවංශ තොරතුරු මගින් ගම්‍ය වුවද එය, ගැටුමක්‌ දක්‌වා වර්ධනය වී නැත. වළගම්බා රජු පාණ්‌ඩ්‍ය ආක්‍රමණිකයන්ට බියේ වන වැදුනු බැව් මහාවංශය කියයි. වන වැදී සිටි කල දැන හඳුනාගත් කුපික්‌කලතිස්‌ස හා හඩුගල්ලක තිස්‌ස යන දෙනම ඔහුට යළි සිහසුන ලබා ගැනුම විෂයෙහි සේනා සංවිධානය කොට උදව් කළහ. යළිඳු, සිහසුන ලබාගත් රජු ස්‌වකීය කෘතවේදීතාවය පළකරනු වස්‌ අභයගිරි විහාරය ඉදිකොට කුපික්‌කල තිස්‌ස හිමිට පවරන ලදී. මෙම විහාර පූජාව මෙම හිමියන් ඉවසීම මහාවිහාර භික්‌ෂුන්ගේ අප්‍රසාදයට හේතුවිය. අගත අනගත චතුදිස සගස දිනේ නමින් සෙල්ලිපි වල සඳහන් වූ විනය නිතීය නිශේධනය වූ අවස්‌ථාවක්‌ විය. කුපික්‌කලතිස්‌ස හිමියන් කුල සංසර්ගව වෙසෙතයි කියමින් මහ විහාර භික්‌ෂූන් උන්වහන්සේට පබ්බාජනීය කර්මයෙන් දඬුවම් කොට මහවිහාරයෙන් නෙරපූ බැව් නිකාය සංග්‍රහයේ දක්‌වයි. එය, එසේ නම්, අද සමාජ ව්‍යුහය තුළ කුපික්‌කලතිස්‌ස තෙරුන්ට සාපේක්‌ෂව කොපමණ භික්‌ෂූන්ට පබ්බාජනීය කමඡ්ය කළ යුතුද? කුපික්‌කල තිස්‌ස හිමියන්ගේ ශිෂ්‍ය හඩුගල්ලක තිස්‌ස හිමි මෙම තීරණයට දැඩි විරෝධය දක්‌වන ලදී. එ නිසා මහා විහාරය මෙම හිමිට උක්‌ෂේපනීය කර්මයෙන් ද`ඩුවම් පමුණුවන ලදී. එයත් නූතන ශාසන චර්යාව සමඟින් විමසිය යුත්තකි. මෙම පසුබිම මත මෙම හිමියන් තමන්ට හිත පක්‌ෂපාතී පන්සියයක්‌ භික්‌ෂූන් ද සමඟින් මහා විහාරයෙන් නික්‌ම ගිය බැව් නිකාය සංග්‍රහය දක්‌වයි.

මෙම වකවානුව තුළදීම ධම්මරුචි නම් මහායාන වාදී භික්‌ෂුව දකුණු ඉන්දියාවේ සිට පැමිණ ඇත. මෙම හිමියන් ප්‍රධානත්වය ගනිමින් අභයගිරි විහාරීය භික්‌ෂූන්, ධම්මරුචි නමින් නිකායක්‌ පිහිටුවන ලද බව ඉහත ග්‍රන්ථය කියයි. මෙම පදනම මත එකම සංඝ සම්ප්‍රදායක්‌ව පැවති භික්‌ෂූන් අතර පසුකල විවිධ වාද, විවාද, මතවාද හා ආරවුල් ලියලමින් වැඩෙන්නට විය. මෙය ශ්‍රී ලාංකේය සාමයික පරිසරය මෙන්ම සංස්‌කෘතික පරිසරයද උඩු යටිකුරු කරන ලද්දක්‌ විය.

නිකාය සංග්‍රහය, මහාවංශය, චූලවංශය වැනි ඓතිහාසික විද්‍යාවන්ට අනුව වොහාර තිස්‌ස, ගොඨාභය, මහසෙන්, අඹහෙරණ සළමෙවන් යනාදී රාජ්‍ය සමයන්හිදී මෙම මතවාද වඩා තීව්‍ර වූ බැව් පෙනේ. මහාවිහාර භික්‌ෂූන් අධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධිය අපේක්‌ෂා කරමින් ශීල සමාදානයට නැඹුරු වූ අතර, අභයගිරි භික්‌ෂූන් ධර්මාවබෝධය සමඟින් සමාජ සත්කාර දෙසටද නම්‍ය වූ බැව් පෙනේ. මෙනිසා අභයගිරි භික්‌ෂූන් සමාජ ප්‍රසාදයට ද ලක්‌වූ බැව් පෙනේ. රජවරු අනුග්‍රහය වැඩි වැඩියෙන් ඔවුන් දෙසට නැඹුරු වීම ද මේ සඳහා බලපා ඇත. මෙම තත්ත්වය මත දකුණු විහාරය, ඡේතවන විහාරය යනාදී ස්‌ථානවල ද මෙම තත්ත්වය ව්‍යාප්ත විය. මහායාන දර්ශනයේ උච්චතම අවධිය නම් මහසෙන් රාජ්‍ය සමයයි. මහායාන භික්‌ෂුවක වූ සංඝමිත්තගේ උපදෙස්‌ මහසෙන් රජු පිළිගත් හෙයින්, මහාවිහාර ගොඩනැඟිලි විනාශ කළ බවත්, ලෝවාමහාපාය භුමියේ උළු වැපිර වූ බැව්ද නිකාය සංග්‍රහය කියයි. ඡේතවනාරාමය, දක්‌ෂිණ විහාරවාසී භික්‌ෂූන්ට පැවරුයේ ද මහසෙන් රජු විසිනි.

ඉහත ක්‍රමය විකාශනය මත මහායානික දර්ශනය වර්ධනය වූ බැව්ද පෙනේ. නිකාය සංග්‍රහයට අනුව වෛතුල්‍යවාදය, වාජිරියවාදය, නීලපාට දර්ශනය, වජ්‍රාසනය හා තන්ත්‍රයානය ආදී මහායානික සංකල්ප ව්‍යාප්ත වූයේ ද මෙම කාලපරිච්ඡේදය තුළදී ය. ශ්‍රී ලාංකික සංඝ සමාජය තුළ වර්ධනය වූ මෙම අසහනකාරී ස්‌වරූපය පොළොන්නරු රාජ්‍ය සමය වන විට අති තීව්‍ර ස්‌වරූපයක්‌ දැරීය. උපසම්පදා විනය කර්ම සඳහා බුරුම රටින් භික්‌ෂූන් වැඩම කරවීමට මහා විජයබාහු රජුට සිදුවූයේ ද මෙනිසා විය හැකිය. භික්‌ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව කෙරෙහි මහත් බලපෑමක්‌ කරන බැව් ද රජු දිටීය. මෙහිදී විශේෂයෙන් මහායානික භික්‌ෂූන් ගම්බද ජනතාව කෙරෙහි දැඩි බලපෑමක්‌ කරන ලදී. රටේ සමාජ සාමය හා සංස්‌කෘතික විසංයෝගය වහා නවතා ආරක්‌ෂා කිරීමට නම්, භික්‌ෂු අරගල වහා වහා ලොප් කළ යුතු බැව් රජු තීරණය කළේ, එහෙයිනි. සැබවින්ම, මෙහිදී දෘශ්‍යමාන වන්නේ, සමාජ සංස්‌කෘතික අරගලයයි.

සංඝ සමාජය පිරිසිදු කිරීමට පරාක්‍රමබාහු රජු දැරූ පරිශ්‍රමය බුද්ධ ශාසනය පුනරුත්ථාපනය කිරීමට ගන්නා ලද වැදගත් පියවරක්‌ බව මධ්‍යකාලීන ලංකා ඉතිහාසය සාක්‌ෂි දරයි. පැරකුම්බා රජුගේ මෙම සංඝ සාමග්‍රීය පිරිසිදු ථෙරවාදය යළිඳු නඟාසිටුවීමක්‌ බැව් මෙසේ එ මහරජ තෙමේ මහෝත්සාහයෙන් බොහෝ කලකින් ශුද්ධිය හා සමගිය සම්පාදනය කොට සංඝයා, බුද්ධ කාලයේ මෙන් පැවැත්වූහ……” වශයෙන් චූලවංශය දක්‌වන විස්‌තරයෙන් ගම්‍යමාන වෙයි. මෙම විස්‌තරය පොළොන්නරු ගල්විහාර ලිපියේද දෘශ්‍යමානය. එහිදී “පූර්වරාජයන් විසින් මහෝත්සාහ යෙදුණු කට නොහැක්‌කාවූ තුන්නකා එක්‌නකා කොට්‌.. යන්නෙන් ගම්‍යමානය.

ගල් විහාර ලිපිය හා චූලවංශය යනාදී මූලාශ්‍ර පිළිවෙළින් දක්‌වන පරිදි, තුන්නකා එක්‌නකා කොට්‌ යන යෙදුමත්, සියලු භික්‌ෂුන් බුදුන් දවස මෙන් එකම සඟ පිරිසක්‌ බවට පත් කළ බැව් කියන ප්‍රකාශනයත් මගින් ව්‍යාවෘත වන්නේ, ථෙරවාදී දහම යළිඳු ප්‍රතිෂ්ඨාපනය වූ බැව්ය. මෙම තුන් නිකාය මහා විහාරය, අභයගිරි හා ඡේතවන වශයෙන් මති මාත්‍රඥතාවක්‌ ඇත්තේ නමුත්, ඒවා මහායානික නිකායන්ම බැව් සිතීමට මෙන්ම, පාරදෘශ්‍ය වීමට නිකාය සංග්‍රහය ඉඩ හසර ලබාදෙයි. එ බැව්, ධම්මරුචි, සාගලිය හා වෛතුල්‍ය යනාදී නිකායන් ගැන නිකාය සංග්‍රහයේ එන හැඳින්වීමෙන් ව්‍යාඛ්‍යානය වන බැවිනි.

දිගු කලක්‌ තිස්‌සේ වර්ධනය වෙමින් පැමිණි මහායාන නිකායන්ද ඔවුන් නිසා වෙහෙසට පත් මහාවිහාර භික්‌ෂූන් ද සමඟි කරවීම පරාක්‍රම රජුට අතිශය දුෂ්කර කාර්යයක්‌ විය. කෙසේ හෝ රජු එය ජය ගනු ලැබීය. රජුට අභිsයෝග කරන්නට එකදු භික්‌ෂුවකටත් නොහැකි විය. එය, එසේ වූයේ නමුත්, රජු ඉදිරියේදී නිහ`ඩ වූ බොහෝ අය රජුගේ මරණයෙන් පසු යළි නිදහසේ නැඟී සිටිය බැව් දෘශ්‍යමාන වන්නේ, නිශ්ශංකමල්ල රජුට ද සංඝ සංශෝධනයක්‌ කිරීමට සිදු වූ බැවිනි. සංඝ සමාජයේ පරිහානිය වළක්‌වා එය ස්‌ථාවරව පවත්වා ගැනීමට මහා පැරකුම්බා රජු සිතූ පරිදි ප්‍රතිඵල නොදුන් බැව් මහාචාර්ය පරණවිතානයන් පවසන්නේ එනිසා විය හැක.

සංඝ සාමග්‍රීය ඇති කිරීමෙහිලා මහා පැරකුම් රජු මහා විහාරිය භික්‌ෂූන්ට ආයාචනා කළ හෙයින්, රජු මහායානයට වඩා ථෙරවාදයට ගරු කළ බැව් පෙනේ. නමුත්, දිගු කලක්‌ මහායානිකයන් වෙතින් ලද පීඩනය හේතුවෙන් ඇතැම් මහා විහාරිකයන් උක්‌ත කාර්යයට අකමැති විය. ඇතැම් මහාවිහාර භික්‌ෂූන් රට හැර ගියා මෙන්ම, ඇතමෙකු සිවුරු හැර ගියාහ. එපමණක්‌ නොව, සියලු මහාවිහාරිය භික්‌ෂූන් ඊට සහභාගි නොවූ බවද චූලවංශය පෙන්නා දෙයි. රජුගේ සද්කාර්යයට මහාවිහාරයෙන් පවා විරෝධතා එල්ල වූ බැව් මෙයින් ගම්‍යවෙයි. සෙසු නිකායිකයන් වෙත රජු අවධානය යෙදවීමෙන් පෙනී ගියේ එකදු උපසපන් භික්‌ෂුවක්‌ හෝ නොසිටි බවයි. රජු සියලු භික්‌ෂූන් පොළොන්නරුවේ චිත්‍රලතා මණ්‌ඩපයට රැස්‌කරවීය. සුපේෂල ශික්‌ෂාකාමී තෙර නමක්‌ වූ දිඹුලාගල මහා කාශ්‍යප හිමියන් ප්‍රධානත්වයෙහි තබාගෙන මුළු රැයක්‌ පුරා හිටිපිය නොසොල්වා විනිශ්චය දුන් බැව් උක්‌ත මූලාශ්‍රය පවසයි. දුසිල් භික්‌ෂූන් සිවුරු හරවා ඔවුන්ට මහ තනතුරු දුන් බවද තවදුරටත් චූලවංශය පවසයි. රජුගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ වගකීම් ඔවුනට පැවරුවේයයි සිතිය හැකිය.

සංශෝධිත සංඝ සමාජයේ වගකීම මහා කාශ්‍යප හිමිට පවරන ලදින් සඟ සසුන පවිත්‍රව විධිමත්ව පවත්වාගෙන යැමේ වගකීමද එA හිමිට පැවරිණි. උන්වහන්සේගේ සහය පිණිස මොග්ගල්ලාන හා සාරිපුත්‍ර හිමිවරුන් පත්කළ බැව්ද පෙනේ. සාරිපුත්‍ර හිමියන් මහායානවාදියකු බැවින්, උක්‌ත කාර්යය සඳහා නිකායද්වයම සම්බන්ධ කරගත් බැව් පෙනේ. මෙයින් ගම්‍යවන ප්‍රධාන කාරණය නම්, කාර්ය සාධනය විෂයෙහි දක්‌ෂ අයවලුන් මහායානවාදීන් අතර සිටිය බැව් රජුගේ පිළිගැනීමයි. මෙම සියල්ලෙහි අවසානයේදී රජු විසින් කථිකාවතක්‌ සම්පාදනය කොට එය ගලෙක සටහන් තැබූ බැව් විද්‍යමානය. ශිලා ලේඛන සංග්‍රහය පෙන්වන පරිදි ගල් විහාර කථිකාවත ලෙස විද්වතුන්ගේ විමර්ශනයට ලක්‌වී ඇත්තේ මෙම ලේඛනයයි. අනුරාධපුර යුගයේ විසූ ෂඪ වැනි මිහිඳු හා ඪ වන කාශ්‍යප යන රජවරුන් ද සංඝ සමාජය විධිමත්ව පවත්වාගෙන යැම අරමුණු කොට මෙවැනි උත්සහයක්‌ ගත් බැව් මිහින්තලේ ලිපියෙන් හා ඡේතවනාරාම සංස්‌කෘත ලිපියෙන් දෘශ්‍යමාන වන්නේ නමුත්, කථිකාවතක්‌ මගින් උක්‌ත කාර්යයට පිළිපන් රජු මහා පැරකුම් පමණි. ගල්විහාර කථිකාවත මගින් ථෙරවාදී විනය නීති කෙරෙහි වැඩි මූලිකත්වයක්‌ ලබා දුන්නේ නමුත්, මහායානිකයන් විසින් ජනසෙත උදෙසා පවත්වාගෙන පැමිණි පිළිවෙත් තහනම් කිරීමට පියවර ගෙනද නැත. ආචාර්ය, උපාධ්‍යායන් විසින් සිය අන්තේවාසිකයන්ට කුදු සික හා ප්‍රාතිමෝක්‌ෂය ද දසදම් සූත්‍ර අතුරින් තුනක්‌ද අනුමාන සූත්‍රයද ප්‍රගුණ කළ යුතු බැව් දක්‌වන අතර, උක්‌ත විනය පද්ධති ප්‍රගුණ කළ නොහැකි අයට මූල ශික්‌ෂාව හා සේයා වනපොත් කිරීමද සිඛවළඳ විනිස හැදෑරීම ද නියම කළ බැව් ඓතිහාසික විද්‍යා සාක්‌ෂි දරයි.

ඉහත තොරතුරු මගින් පෙනීගියේ මහා පැරකුම් නිරිඳු මහායාන මතවාද සපුරා බැහැර නොකළ බැව්ය. ඔහු තවදුරටත් මහායානවාදීන් වෙත අනුග්‍රහය කළ බැව් ද පෙනේ. යන්ත්‍ර මන්ත්‍ර පිරීමෙහි යෙදෙන තන්ත්‍රයානික හා වජ්‍රයානිකයයි සිතිය හැකි භික්‌ෂූන්ට පහසු වන පරිදි රජ මාලිගය සමීපයේම ධාරණිගෙහ හා පංච සතික නමින් ගොඩනැඟිලි දෙකක්‌ කරවා දුන් බැව් චූලවංශය පවසන්නේ, එහෙයිනි. මෙමගින් වඩා තීව්‍ර ලෙස ගම්‍යවන්නේ, නිකාය සාමග්‍රීයෙන් පසුව වුවද මහායානවාදීන් ස්‌වකීය දර්ශනය රිසි සේ පවත්වාගෙන ගිය බවය. ථෙරවාදී සම්ප්‍රදායයන් නඟාලීම රජුගේ මූලික අරමුණ වුවද ප්‍රායෝගිකව එය, එසේ නොවුන බැව්ද වටහාගත යුතුය. පොළොන්නරු ඡේතවන විහාරය රජු කර වූයේද ඡේතවන නිකායික භික්‌ෂූන් සතුටු කිරීම උදෙසා බැව් කියවේ. මෙම සියලු ගම්‍යයන් මගින් කියනුයේ නිකාය සාමග්‍රීයෙන් පසුවද මහායානිකයන් රාජ්‍ය අනුග්‍රහය හා ආරක්‌ෂාව ලද බවය. මෙම පදනම තුළින්ම දඹදෙනි අවධියේදී තෙර පදවි, මහ තෙර පදවිද නිකාය සාමග්‍රීය සමඟින්ම ආරම්භ වූ බැව් පෙනේ. නූතනය තුළ දැකිය හැකි මහානායක, අනුනායක පදවි මෙහි විකාශනයකි. මෙම පදවි තුළ ථෙරවාදය ද මහායානයද මිශ්‍රව පැවතීම සුවිශේෂී කරුණකි. පසු කාලයේදී මෙම පදවි ග්‍රාමවාසී හා ආරණ්‍යවාසී භික්‌ෂූන් අතර බෙදී ගිය බැව් දෘශ්‍යමාන හෙයින්, ථෙරවාදී හා මහායාන කණ්‌ඩායම් බෙදීම ප්‍රසිද්ධවම පොළොන්නරු අවධියේදී ඇරඹි බැව් පෙනේ.

ථෙරවාදී භික්‌ෂූන් පෙර පරිදි බණ භාවනා කෙරෙහි නැඹුරුවෙමින් ජනාවාසයන්ගෙන් වියුක්‌තව ස්‌ව සම්ප්‍රදාය රැගෙන ගිය අතර, මහායානවාදීන් තවදුරටත් ජනතාව ආශ්‍රය නිශ්‍රය කරමින් ස්‌ව සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන ලදී. පැරකුම් රජුගේ සංඝ සාමග්‍රීය ස්‌ථිරසාර අර්ථවත් උත්සහයක්‌ නොවූ බවද මෙයින් පෙනේ.

මහ පැරකුම් රජු සිවුරු හරවා මහ තනතුරු දෙමින් සමාජගත කළ බොහෝ මහායානවාදීන් ඔහුගේ මරණින් පසු සසුනට ප්‍රවිෂ්ට වීමට ඉහළ සම්භාව්‍යතාවක්‌ තිබුණා සේම, ග්‍රාමවාසී සම්ප්‍රදායේ වර්ධනයට මෙය තීව්‍ර අයුරින් බලපෑ අයුරුද පෙනේ. යළිඳු, ශ්‍රී ලාංකේය භික්‌ෂු සංස්‌ථාව අරගල හා කණ්‌ඩායම් ගැසීමට මෙය හේතු විය. දඹදෙණිපුර රාජ්‍ය කළ ෂෂ වන පැරකුම්බා රජුට යළි සංඝ ශෝධනයක අවශ්‍යතාව මතුවන්නේ මෙනිසාය. පුරාණ යුගය ගැන මහාචාර්ය පරණවිතාන සූරීන් මෙවැනි අදහසක්‌ ඉදිරිපත් කරන්නේ එහෙයිනි. ෂ වැනි පරාක්‍රමබාහු රජු ථෙරවාදය යළි ප්‍රකෘතියට පත් කිරීමෙන් පසුව මහායාන මතවාද ගත්තවුන් වෙනම නිකායක්‌ වශයෙන් නොපැවතියේය. එහෙත්, ථෙරවාදී බෞද්ධයන්ද මේ කාලය වන විට අවලෞකික ඇදහිල්ල, මන්ත්‍ර හා ගුප්ත යන්ත්‍ර සිතියම් භාවිතා ආදී ඇතැම් මහායාන ධර්ම පිළිගෙන තිබුණි…… මහාචාර්ය පරණවිතාන සූරීන් මෙසේ පවසන්නේ නමුත්, දඹදෙණි අවධිය වන විටද භික්‌ෂූන් නිශ්චිත ලෙසම නිකාය දෙකකට බෙදී සිට බැව් පෙනේ. මා බුදු බව නොපතතත් තෙල දරුවන් තොපට දන් දෙමි විෂ්ණු, ඊස්‌වරාදීන් සමීපයටවත් ගත හැකිද ආදී අදහස්‌ පළකරන සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමි නිස්‌චිතවම ථෙරවාදී සම්ප්‍රදාය ගත්තකු බැව් පෙනේ. බුද්ධ පුත්‍ර හිමියන් පූජාවලිය ලියන්නේ ෂෂ වන පැරකුම් නිරිඳු බෝසත් දහම් පිරීමට යොමු කරන අටියෙනි. රජු පූජාවලිය මහත් ගෞරවයෙන් පිළිගෙන එය ඇතකු පිට මත නගරය ප්‍රදක්‌ෂිණ කළේය. බුද්ධ පුත්‍ර හිමියන් මහායානවාදී සම්ප්‍රදාය ගරු කළ කෙනකු ලෙස මෙයින් ගම්‍යමානය. සිංහල සාහිත්‍ය වංශය කියන පරිදි ධෛවශු කාමධෙනුව නම් ජ්‍යෙතිෂ ග්‍රන්ථය මෙකල විසූ අනවමදර්ශි හිමි වෙතින් රචනා විය.

ගම්පොළ යුගය වන විට ථෙරවාදී භික්‌ෂූන් ද මහායාන අදහස්‌ හා මතවාද සමඟින් මිශ්‍රව සිටි අයුරු පෙනේ. ද්විතීය ධර්මකීර්ති සංඝරාජ හිමියන් සද්ධර්මාලංකාරය ලියුවේ බුදු බව පතාගෙනය. ගෘහස්‌ථයනට ශොලෝ ආදිය බැඳ නොකිය යුතු උපන් රෝගය නිසා යකුන් කෙළවීම් බලි තිබීම්, බලිබත්දීම් ආදී නොසුරුප් දෑ නොකොට යුතුය.කාව්‍ය නාටකාදී ගර්හිත විද්‍යා නූගත යුතු නූගැන්විය යුතුය, වශයෙන් භික්‌ෂු පරිවර්තනය අඩපණ කිරීමට දඹදෙණි කථිකාවත පියවර ගත්තේ නමුත්, මෙකල හඳුන්වා දුන් සඟරජ පදවිය ගම්පොළ හා කෝට්‌ටේ යුගවල වඩාත් තීව්‍ර ලෙස පැවති බැව් කථිකාවත් සඟරා පෙන්නාදෙයි.

උභය විහාරවාසී භික්‌ෂූන් අතරින් සුදුස්‌සන්ට සඟරජ පදවිය හිමිවිය යුතු බවට ප්‍රඥප්තියක්‌ද විය. එ බැව් කෝට්‌ටේ යුගයේ වරක්‌ විදාගම හිමියන් ද තවත් වරක්‌ රාහුල හිමියන්ද මෙම තනතුර දැරීමෙන් ස්‌ඵුට වෙයි. රාහුල හිමි, තමා උතුරුමුල මහා නෙරිඳුගේ මුණුබුරකු බව සැළලිහිණි සංදේශයේ සඳහන් කළ ද වීදාගම පරපුරේ කෑරගල වනරතන හිමියන් පුරාණ හා කාව්‍යාලංකාර ප්‍රතික්‌ෂේප කළ බව හංස කවියා කියයි. මෙම තොරතුරු සමාලෝචනයෙන් ගම්‍යවන්නේ, මහායානිකයන් තම මතවාදය අතහැර මහාවිහාරිය අදහස්‌ පිළිගෙන එක්‌ නිකායක්‌ සේ කේන්ද්‍රගත වූයේද යන්න සැක සහිත වන අතර, ථෙරවාදීහු ද මහායානවාදී අදහස්‌ ගරු කරන්නට වූ බැව්ය. එමෙන්ම, ථෙරවාදීය දර්ශනය වෙත මහායාන දර්ශනය සම්ප්‍රේෂණය වූවා සේම, මහායාන දර්ශනය වෙත ථෙරවාදී දර්ශනයද සම්ප්‍රේෂණය වූ බැව් වඩා පැහැදිලිය. මෙම පදනම මත මෙම සම්ප්‍රදායයන් විසින් ධාතු වන්දනය කෙරෙහි හෙලන දෘෂ්ටිය ද විමසිය යුතුය.

About ශ්‍රී ලංකා ගාර්ඩියන්

Related posts