ආරක්‍ෂක ලේකම්ධූරයේ වෙනසක්?

ඊළාම් වර්ගවාදීන් මංගලට බැනවැදීම විදෙස් රටකදී නායකත්වය ඉලක්ක කිරීම සඳහා වූ අනතුරැ සංඥාවක්ද?


මෙම ලිපිය සත්හඬ පුවත්පතේ මාර්තු 05 , 2017 කලාපයේ පළමුවෙන් මුද්‍රණය විය


නිලන්ත ඉලංගමුව

වත්මන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හවුල් වූයේ යැයි කියන මහා පරිමාන දූෂණ සහ වංචා හෙළිදරව් වීම හේතුවෙන් ආරක්‍ෂක ලේකම් ධූරයේ වෙනසක් සිදු කිරීමට ආණ්ඩුවට සහ එහි නායකත්වයට සිදුව ඇතැයි ආණ්ඩුවේ ඉහල පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. අවසන් තීරණය තවමත් ගෙන නැති නමුත් ඊට යෝජනා රාශියක් මේවන විටත් ලැබෙමින් තිබෙන බව සැළයි. රටේ අනෙකුත් දෑ වලදී සිදුවන ආකාරයෙන්ම මෙම ධූරයටද “පොරකන්නන්” රාශියක් බිහිවීම ස්වභාවික කාරණයකි. නමුත් වැදගත් වන්නේ මෙම පෘථුල විෂය ගැන දන්නා සහ තම රාජකාරිමය ගෞරවය ආරක්ෂා කරගත් දැනුමැත්තෙකු ඉතාම ප්‍රවේශමෙන් තෝරා ගැනීමය. ආණ්ඩුවට, නායකත්වයට මෙන්ම රටට යහපතක් වන්නේ එවිටය. මෙවැනි තෝරා ගැනීමකදී ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාහතාගේ මිත්‍රත්වයට මූලිකත්වය ලබා දීමේ ප්‍රතිඵලය ලෙස වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා ධූරයට පත්වූයේ හිටපු ආරක්‍ෂක ලේකම් යු.ඩී. බස්නායක මහතාගේ සේවයෙන් පසුය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත් වූ ඉතාම අසාර්ථකම ලේකම්වරයෙකු වූ හෙතම වෙනුවට පත්කරනු ලැබූ වත්මන් ලේකම්වරයාද තම සිතැඟියාවන් වලට මූලිකත්වය ලබා දෙමින් කටයුතු කිරීම මිස විෂයානුබද්ධව කටයුතු කිරීම සඳහා එතරම් උද්‍යෝගයක් නොදැක්වූ බව ගෙවී ගිය කාලය තුළදී දැකගත හැකි වූ මූලික කාරණයක් විය. ඇතැම් අවස්ථාවලදී හමුදාපතිධූරයට පත් වූ නිලධාරීන් මෙම ලේකම්වරයාට සංග්‍රහ කළ යුතු පිළිවෙල දැන සිටි අතර විස්කි වැනි මදුවිත පානයට ඇති ආශාව ලේකමවරයා සතුටු කිරීම සඳහා මෙවලමක් කරගත්හ.

කුමන දේශපාලන විසංවාදය තිබුණද , ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ධූරය සඳහා පත් වූ විශ්‍රාමික ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ මහතා තම ආයතනය අදාළ දේශපාලන නායකත්වයට අනුරූපව ශක්තිමත්ව සංවිධානය කළේය. තම ධූරයේ සිටින කාලවකවානුව තුළ විවිධ වැරදි තීරණ සහ අවභාවිතයන් කළද ආයතනයක් ලෙස ඉතාම ශක්තිමත්ව දියුණු කිරීමට මෙන්ම එය ආණ්ඩුවේ මෙන්ම රාජ්‍යයේ මෙහෙයුම් එන්ජිම බවට පත්කිරීමට කටයුතු කළේය. ඒ මූලික කාරණය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගැටුම්වලින් තොර අවධියකදී “ගැඹුරු රාජ්‍යය” ( ඩීප් ස්ටේට්) ප්‍රධාන මෙහෙයුම් ඒකකය බවට පත් වෙමින් තිබුණි. මේ නිසා මහජන කැමැත්තෙන් තේරී පත්වන පුද්ගලයින් ක්‍රමිකව නොවැදගත් තත්වයට පත්වෙමින් තිබු අතර ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් මෙහෙවන මූලික න්‍යායපත්‍රයක් ඔස්සේ රටේ පරිපාලනය තීන්දු විය. එය, ශ්‍රී ලංකාව විෂයෙහිලා අත්හදා බලමින් සිටි මුල්ම අවස්ථාව විය. මේ හේතුවෙන් බොහෝමයක් අමාත්‍යවරුන් මෙන්ම දේශපාලන පක්ෂවල ඉහළ පෙළේ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරයාට ඉතාම කීකරු බව පෙන්වීමට නොපමාව කටයුතු කරනු ලැබීය.

නමුත් 2015 දී පැවැත් වූ මැතිවරණය නොහොත් බොහෝ දෙනෙකු හඳුන්වන “දේදුනු විප්ලවය” ඔස්සේ එම මූලික ව්‍යුහය දෙදරා ගියේය. එහිදී සිදුවූයේ මතුපිටින් සිදු වූ දෙදරා යෑමක් පමණි. නමුත් අභ්‍යන්තර ව්‍යුහය එලෙසම පැවතියේය. මේ නිසා රාජ්‍යය පරිපාලනයේ සුපුරුදු අවභාවිතයන් එලෙසම සිදු වූ අතර අවභාවිතා කරන්නන්ගේ මුහුණුවල පමණක් සුළු වෙනස්කම් සිදුවිය. මෙහිදී යළිත් මතක් කළ යුතු මූලික කාරණයක් තිබේ. එනම්, දශක ගණනාවක් තිස්සේ හොරුන් සහ වංචාකරුවන් වසින් නිර්මාණය කරගත් පරිපාලන රටාවක් නඩත්තු වන්නේ හොරුන් විසින්ම නම් එම ක්‍රමයෙන් ප්‍රභල වෙනස්කම් බලාපොරොත්තු විම භයානක නැඹුරුවක් පමණක් නොව මෝඩකමකි.

එනයින් බලන කළ ආරක්‍ෂක අමාතංශය තුළ සිදු වූයේ යැයි කියන දෑ හමුවේ නව ලේකම්වරයෙකු පත්කිරීමට රටේ නායකත්වය කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය ඉතාම ප්‍රවේශමෙන් ගත යුතු තීරණයකි. තම මිත්‍රත්වයට වඩා විශ්වාස කිරීමට හැකි විෂය දන්නා අයෙකු පත්කිරීම මෙන්ම ජනතාව අතර ක්‍රමයෙන් හීන වෙමින් පවතින විශ්වාසය යළි දිනා ගැනීමේ වැඩපිළිවෙක් වෙත ගමන් කිරීම අත්‍යවශ්‍යය වේ.

වත්මන් සන්දර්භය හමුවේ රටට අත්‍යවශ්‍යය වන්නේ භූමියේ මෙන්ම මුහුදේ ආරක්‍ෂක සහ වෙළඳ කටයුතු වල ඇති වැදගත්කම සම්බන්ධයෙන් දැනුමැත්තෙකු මෙවැනි ධූරයකට පත් කිරීමය. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉතිහාසය පුරාම, අදාළ ලේකම්ධූරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු මේ දක්වා පත් වී නොමැත. සැබවින්ම ඉතිහාසය පුරාම දැකගත හැකි වූ මූලික කාරණය වන්නේද, රටට අයත් මුහුදු සීමාව රටේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම වෙනුවට මත්ස්‍ය හොරකමේ සිට බොහෝ දෑ සඳහා වෙනත් රටවල් ශ්‍රී ලංකාවට අයත් අතිවිශාල මුහුදු සීමාව භාවිතා කළ බවයි. මෙය ඉතාම කනගාටුදායක කාරණයකි. රටේ ආර්ථිකය මෙන්ම රටේ ජනතාවගේ ජීවන තත්වය ඉහල දැමීම සඳහා මෙම ක්ෂේත්‍රය ගැන දන්නා මෙන්ම එම දැනුම රටේ යහපත වෙනුවෙන් කැප කරන අයෙකු තෝරාගැනීම අත්‍යවශ්‍යය වේ.

ජනවාරියේ විසිර යෑමට සිටි මැරීන් පෙබරවාරියේ විසිර යයි!

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම මැරීන් බළකාය පසුගියදා විසිර ගිය අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය. ඊට සහභාගී වූ අය අමතා ජනාධිපතිවරයා ඉතාම කෙටි කථාවක් කළ අතර එහිදී තම රටේ සන්නද්ධ බලය ශක්තිමත් කිරීම සඳහා විදෙස් රටවල් ලබාදුන් සහයෝගය අගයකරනු ලැබීය. තම කතාවේදී මතක් කරනු ලැබූ රටවල් අතර රුසියාව සඳහන් කිරීමට ජනාධිපතිවරයාට අමතක වූ සැටියෙකි.

රාජ්‍යය නායකයෙකු ප්‍රසිද්ධ වේදිකාවකදී කරන කතාවකදී හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකරන ගනුදෙනුවකදී මුදාහරින මෙන්ම මුදාහැරිය යුතු නමුත් නොහරින එකඳු වචනයක් හෝ ඉතාම වැදගත් බව මෙරට බොහෝ දෙනෙකු නොසිතන කාරණයකි. හුදු ප්‍රසිද්ධිය උදෙසා සිදුකරන කෑ කො ගැසීම් සහ අල්ලාප-සල්ලාප හැරෙන්නට තමන්ට ඇහුම්කන් දෙන්නාට යමක් අවබෝධවන ආකාරයෙන් හැසිරෙන අයවලුන් ඉතාම සීමා සහිත වීම යනු එම රාජ්‍යයේ බිඳ වැටීමේ මට්ටම හඳුනාගත හැකි මූලික කාරණයකි. එනයින්, බලන කල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තවමත් තම කතා විලාශය තුළින් මෙන්ම භාවිතා කරන වචන ඔස්සේ තම ස්වයං විනය ආරක්ෂා කරගෙන සිටීම සැබවින්ම පැසසිය යුතු කාරණයකි. වැදගත් වන්නේ අත්‍යවශ්‍යය කාරණා මඟ නොහැරීම සහ රාජ්‍යය තාන්ත්‍රික මට්ටමින් සිදුකරන ගනුදෙනු වලදී තම අභිමානය රැඳෙන පරිදි කටයුතු කිරීම සඳහා රාජ්‍යය ධූත සේවා ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කිරීමය.

ජනාධිපතිවරයා මේ මාසයේදී රුසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාර දෙකම රටේ වත්මන් පරිපාලනයට මෙන්ම අනාගතයට ඉතාම වැදගත් බව අවිවාදිතය.

කෙසේ වෙතත්, වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය කරනු ලැබූ ප්‍රථම මැරීන් බළකාය විසිර යෑම මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ පැවැත්වූ උත්සවයේදී සිදු විය. මැරීන් බළකාය විසිර යෑම පසුගිය ජනවාරී මාසයේදී පෙර සැලසුම් කළ තිබුණද “තාක්ෂණික හේතුන්” නිසා එය පෙබරවාරී මාසයට කළ දැමීමට පසුව සිදුවූ බව වාර්තා වේ.

ගුවන් හමුදාවේ 66 වන සංවත්සරය

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වන සංවත්සරය පසුගිය මාර්තු දෙවැනි දිනට යෙදී තිබුණි. වසර 66ක් තිස්සේ සිදු වූ යහපත් මෙන්ම අයහපත් දෑ රාශියකි. දෙමළ සටන්කාමීන්ට එරෙහිව සිදු කරනු ලැබූ සන්නද්ධ යුද්ධයේදී ඉතාම තීරණාත්මක මැදිහත්වීමක් ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබීය. එසේම වංචා සහ දූෂණ මෙන්ම හොරා කෑම අතින් දැඩි ආන්දෝලනයකට තුඩුදුන් ආයතනයක් ලෙසද ශ්‍රී ලංකා ගුවන් හමුදාව චෝදනා ලබා ඇත.

කෙසේ වෙතත් 1971 දී සිංහල තරුණයින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කරන විට මෙරට ගුවන් බලය ඉතාම ප්‍රාථමික මට්ටමේ පැවති අතර ප්‍රථමවරට විදෙස් රටවල් රාශියකින් බණ්ඩාරනයක ආණ්ඩුවට අවශ්‍ය සන්නද්ධ බලය ලබා දෙනු ලැබුහ. ඉන් සෝවියට් දේශය ( මෙකල රුසියාව) මෙරටට සැපයු අනෙකුත් අවි ආයුධ අතර මිග්-17 වර්ගයේ ප්‍රහාරක යානා පහක් සහ හෙලිකොප්ටර් යානා දෙකකි. භාණ්ඩ සැපයීම පමණක් නොව තාක්ෂණික ශිපිල්පීන් සහ උපදේශකයින් රාශියක්ද මෙරටට ලබා දුන් අතර ඉතා කෙටි කාලයක් ඔවුහු මෙරට රැඳී සිටියෝය. 1971න් පසු මෙරට ආරක්‍ෂක අංශවල භෞතික සම්පත්වල ක්‍රමික වර්ධනයක් සිදුවේ. ඉන් යුතු ප්‍රයෝජන ගැනීමට නිලධාරීන් විශාල සංඛ්‍යාවක් බිහි වූහ.

කෙසේ වෙතත්, රටේ පැවති අනාරක්ෂිත තත්වය හේතුවෙන් රටට අහිමි වූ ගුවන්හමුදා නිලධාරීන් රාශියකි. ඉන් ඇතැමුන් ගුවන්හමුදාපති ධූරය සඳහා සුදුසකම් සපුරා සිටි කීර්තිමත් නිලධාරීන් වූහ. ඒ අතරින් 1995 දී මරුමුවට පත් වූ වින්ග් කොමාන්ඩර් රොජර් වීරසිංහ, මෙන්ම කණ්ඩායම් කපිතාන් ශිරන්ත ගුණතිලක වැනි නිලධාරීන් කැපී පෙනුනි. එසේම තවමත් ජීවතුන් අතර සිටින දෙමළ ජාතික නිලධාරියෙකු වූ ප්‍රේමචන්ද්‍රන් ( පසුව ප්‍රේමචන්ද්‍ර) මහතාගේ සේවයද මෙහිදී ඉතා අගය කළ යුතු කාරණයකි. ගුවන් හමුවේ නිල වෙබ් අඩවිය අනෙකුත් ආරක්‍ෂක අංශ වෙබ් අඩවි වලට වඩා ඉතා මැනවින් ව්‍යුගත කර ඇත. ආයතනයේ නිල ඉතිහාසය මෙන්ම අනෙකුත් බොහෝ කාරණා ගැන අවබෝධයක් ලබා ගැනීමට එය මනා ප්‍රවේශයකි. එසේම ආයතනය විසින් මනා ලෙස කළමනාකරණය කරනු ලබන පුස්තකලයක්ද තිබේ. එවැනි දෑ ඉතා යහපත් ආයෝජන ලෙස සැලකිය හැකිය.

නමුත්, ප්‍රසිද්ධියේ බොහෝ දෙනෙකු කතා කිරීමට මැලිකමක් නොදක්වන කාරණා වන්නේ ආයතනය පුරා පැතිරී ඇති දේශපාලනීකරණය සහ ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ දුර්වලතා හේතුවෙන් මුහුණ දීම සිදු වූ සහ සිදුවන දුෂ්කරතාය. මෙහෙයුම් සම්බන්ධයෙන් ගත් කළ අනුරාධපුරය ගුවන් හමුදා පරිශ්‍රයට මෙන්ම කටුනායක සිවිල් ගුවන් තොටුපලට, කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාර ගුවන් හමුදාවේ දුර්වල උපායන් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා ඇති මූලික සිදුවීම් වලින් දෙකකි. මෙම කාරණා සම්බන්ධයෙන් තුළනාත්මක පරීක්ෂණ පසුකාලීනව පවත්වා යළිත් එවැනි සිදුවීමක් සිදු නොවීම සඳහා අවශ්‍යය පූර්ව උපායන් සකස් කළ බව සත්‍යයකි. නමුත් ඒවායින් සිදු වූ භෞතික සහ මානව සම්පත් හානිය ඉතා බරපතළය.

ආයතනයක් ලෙස ගත්කල ගුවන් හමුදාව මුල් කාලයේදී, කළමනාකරණය අතින් ඉතාම මනා ලෙස සංවිධානය වී තිබු සංස්ථාවක් ලෙස හැඳින්වේ. නමුත් මෙරට සිදුකිරීමට සැලසුම් කළේ යැයි කියන “හමුදා කුමන්ත්‍රණය” මෙන්ම 90 දශකය මුල භාගයේ සිට අවසානය දක්වා ගුවන් හමුදාවේ නායකත්වයට පත් වූ අයවලුන් බල තණහාව මෙන්ම මුදල් තණ්හාවට මූලිකත්වය දෙමින් කටයුතු කරනු ලැබුහ. හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි වැනි නිලධාරීන්, අවිනීත ලෙස රිය පදවා පුද්ගලයෙකු මරා දැමීම පමණක් නොව, ආයතනය පුරා සිදු කළ දූෂිත කටයුතු හේතුවෙන් ආයතනයට විශාල අපකීර්තියක් සිදුවිය. විශේෂයෙන් හිටපු ගුවන් හමුදාපතිවරුන් වන එයාර් මාර්ෂල් ඔලිවර් රණසිංහ මෙන්ම එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, වැනි නිලධාරීන් විසින් ක්‍රමයෙන් පලුදු වෙමින් පැවති ආයතනික ගරුත්වය තව තවත් වැඩි කරනු ලැබීය. ඔවුහු තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර වූ ගල් කූරී වල බලධාරීන් වීම පමණක් නොව එකල සිදු කළ බොහෝ අවි ආයුධ ගනුදෙනු වලදීද මහා පරිමාණයේ මූලයම වංචා සිදුකළ බව ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙනු ලබයි.

විශේෂයෙන් එක්තරා අවස්ථාවකදී රටට ගෙන්වීමට යෝජිතව තිබු හෙලිකොප්ටර් යානයකට පවා සිදුවූ දෙය දන්නේ එම ගනුදෙනු වලට මැදිහත් වූ පාර්ශවයන් පමණි. මීට දශක දෙකකට පමණ පෙර සිදු වූ ලොක්හීඩ් සී130කේ හර්කියුලීස් හෙලිකොප්ටර් යානා ගනුදෙනුව ගැන සැබෑ තොරතුරු තවමත් අභිරහසකි. ඉන් පසු සිදු වූ මිග් ගනුදෙනුව ආදීය ගැන බොහෝ දේශපාලන වාද විවාද ඇතිවුවද හොරා කෑමෙන් පසු යට ගසා ඇති කුණු කන්දල් ප්‍රමාණය අති විශාලය. මේ සියල්ලම මහජන සම්පත් මංකොල්ලකෑම්ය.

රටේ ජනතාවගේ මුදල් භාවිතා කරමින් මෙම ආයතන වල සිදු වූ මූල්‍යමය ගනුදෙනු නිශ්චිත විඝණනයකට නතු කිරීම සහ ඒවායෙහි විනිවිදභාවයක් දක්නට නොලැබීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ඒකරාශී කිරීමක් අත්‍යවශ්‍යය වේ. ආයතන යහමඟට ගැනීමට අවශ්‍යය වන්නේ නම් එය මූලික වශයෙන් කළ යුත්තේ ඉතිහාසය පුරා සිදු වූ වැරදි තුලනාත්මකව විමසා බැලීම සහ එවැනි දෑ යළි සිදු නොවීමට අවශ්‍යය ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමෙන් පමණි. ගුවන් හමුදාව තම 66 වන සංවත්සරය සමරන අවස්ථාවේදී යළිත් හැරී බැලිය යුතු මූලික කාරණාවලින් එකක් වන්නේ එයයි.

ආයුබෝවන් චන්න

මේ අතර මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ විශ්‍රාම යෑම පසුගියදා පනාගොඩ හමුදා කඳවුරේදී සිදු විය. කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වූ චන්න මේ වසරේදී ‘ලෝක මානව සම්පත් සංවර්ධන විශිෂ්ඨතා නායකත්ව සම්මානය ලබා ගත්තේය.

සේවා කාලය තුළ වැදගත් මැදිහත්වීම් රාශියක් සිදුකරණු ලැබූ හෙතම යුදහමුදාපති ධූරය සඳහා කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි නිලධාරියෙක් බව ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙනු ලබයි. දක්ෂ කළමණාකරුවෙකු වන හෙතම ආයතනය තුළ විනයක් ඇති නිලධාරියෙකු ලෙස ප්‍රකටව සිටියේය. විශ්‍රාම යෑමෙන් පසු විදෙස් ධූත මණ්ඩලයක මහකොමස්රීස් ධූරයක් හෝ තම විෂයට සම්බන්ධ රාජ්‍යය ආයතනයක සේවය සඳහා හෙතම අනුයුක්ත කිරීමට සැලසුම් කොට ඇතැයි ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

ගෙවී ගිය දින කිහිපය පුරා සිදු වූ තවත් එක් මූලික වැදගත් සිදුවීමක් වූයේ විදේශ කටයුතු ඇමති අමන්ගල සමරවීර මහතා ජෙන්වී නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉදිරිපත් කිරීමයි. සමරවීර මහතා ඉතාම මැනවින් තම අදහස් දැක්වීම සිදු කළේය. එසේම තම උපාය වූ තව දුරටත් කාලය ලබා ගැනීම සඳහා අවශ්‍යය පසුබිම සැකස් කර ගැනීමට හෙතම සමත්විය.

ඊළාම් සගයින් ජිනීවා ගිය මංගලට බැනවැදීම!

සමරවීර මහතා එහිදී දෙමළ මෙන්ම සිංහල ජනකොටස්වල සිටින වර්ගවාදී සහ අන්තවාදී කොටස් රටේ සාමයට හානී කරන බව සඳහන් කළේය. එය කොටි සංවිධානයට හිතවාදී පිරිස් වල කෝපයට හේතු වූ බවත් අමාත්‍යවරයාට බොරු නොකියන ලෙස සභාව අවසානයේ බොහෝ පිරිස් බලපෑම් කළ බවත් සඳහන් වේ.

මෙහිදී රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී සඳහන් කළ යුතු ඉතාම වැදගත් කාරණයක් තිබේ. එනම් රටේ ස්ථාවරභාවයට අකුල් හෙළන පිරිස් රාජ්‍යය නියෝජනය කරන පිරිස් විදෙස් රටවලදී ඉලක්ක කිරීමට ඇති ඉඩ ඉතා ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවයි.එල් ටී ටී ඊ සංවිධානය විදෙස් රටවලදී සිදුකළ යුදමෙහෙයුම් අතර ඉතාම ප්‍රසිද්ධ සිදුවීම වන්නේ ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමයි. ඉන් ඔප්පු වන්නේ, මෙරට පමණක් නොව විදෙස් රටවලදීද පවතින අනාරක්ෂිත තත්වයයි. දෙමළ ඩයස්පෝරාව යැයි නම් කරමින් නඩත්තු කරනු ලබන ඒකකය මෙන්ම රටේ විපක්ෂ දේශපාලන කල්ලි “අන්තවාදීන්ගේ වෙස්මුහුණු” දමා විවිධ ඉලක්ක පසුපස හඹා යෑමට ඉඩක් නැතැයි කිව නොහැකිය.

සමරවීර මහතාට අන්තවාදීන්ගේ වචන වලින් සිදු වූ දෝෂරෝපණය වෙනත් අයෙකු විෂයෙහිලා භෞතික ඉලක්කයක් වීමට ඇති සම්භාවිතාවය අඩු නැත. ආරක්‍ෂක කටයුතු වලදී ඉතාම වැදගත් වන්නේ අනතුරු හමුවේ මුහුණ දීම නොව අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා පූර්ව උපායන් අනුගමනය කිරීමය.

About ශ්‍රී ලංකා ගාර්ඩියන්

Related posts