මංගල ඉවත් කිරීමේ කුමන්ත්‍රණය කාගේද?

නිලන්ත ඉලංගමුව

 කෛරාටක ව්‍යාජ දේශප්‍රේමයෙන් පරෙස්සම්  වන්න ~ ජෝර්ජ් වොෂිංටන්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය “බලහත්කාරයෙන්” අමාත්‍යාංශ තුනක් තමන් යටතට පවරා ගෙන තම දේශපාලන සම්මුතිය විනාශයක් කරා ඇදී යෑමට සැලැස් වූ පැරණි පාඩමෙන් ඉගෙන නොගෙන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම “කැබිනට් සංශෝධනය” මනා පරිචියෙන් නොකළොත් ඔහු තම දේශපාලන ප්‍රතිවාදී බහිරවයා හමුවේ විනාශය උදාකර ගනු ඇත.   ජනාධිපති ලේකමි කාර්යාලයට සමිබන්ධ විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන මූලික කාරණා මෙසේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් ඇමතිකම අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගන්නා ලෙස යෝජනා කරමින් නියෝජ්‍යය මුදල් ඇමතිධූරය එරාන් වික්‍රමරත්න මහතාට ලබා දීමට යෝජනා කොට ඇත. සැබවින්ම එය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇත්තේ නම්, වඩාත් යහපත් තීරණයක් ලෙස හැඳින්විය හැකිය.

නමුත් වික්‍රමසිංහ මහතා සෑම විටම මීළඟ මැතිවරණය සහ තමන් මූලිකව පක්ෂය පැවතිය යුතුය යන මූලික න්‍යායට අනුව යමින් කටයුතු කරන හෙයින් ඒ සඳහා වෙනත් උපායශීලී යෝජනාවක් ඉදිරිපත් කොට ඇත. එම යෝජනාවට අනුව වත්මන් විදේශ කටයුතු අමාත්‍යය මංගල සමරවීර මහතාගේ ධූරය වෙනස් කිරීමට හැකි වටපිටාවක් තිබේද යන්න සොයා බලමින් සිටිති. ඔහු එම ධූරයෙන් ඉවත් කළහොත් එය අතිශය අයපත් මෙන්ම දැන දැනම ආණ්ඩුවේ විනාශය තමන් විසින්ම උදාකර ගැනීමකි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශේෂ හමුවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

පෙළ ගැසෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවය හමුවේ දක්නට ලැබෙන දෑ බොහෝය. මෙය වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන මූලික කාරණයක් බවට වී තිබේ. කැබිනට් සංශෝධනයක් අවශ්‍යය වන්නේ ආණ්ඩුවේ මෙන්ම නායකත්වයේ දේශපාලනය ශක්තිමත් කිරීමට සහ ජනතාව අතර ප්‍රසාදය ඇතිකිරීමට මිස විකපක්ෂය සහ ව්‍යාජ දේශප්‍රේමීන්ගේ උගුල්වල පැටලී විනාශ වීමට නොවේ.

රටක ඕනෑම නායකයෙකුට ඇතිවන ප්‍රභල අභියෝගය වන්නේ හෙතමට තම පරිපාලනය සාර්ථකව කරගෙන යෑම සඳහා විශ්වාසය තැබිය හැකි පිරිස ක්‍රමයෙන් හීන වීමය. ඊට ලබාදිය හැකි වඩාත් ප්‍රඥාගෝචර විසඳුම වන්නේ යමෙකු තම විෂයට අදාළව සිදුකරන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් සිතින් විමසා බලා තීරණ ගැනීමට ඇති හැකියාවය. එනයින් බලන කළ මුදල් අමාත්‍යාංශය වටා සිදු වූ දෑ සම්බන්ධයෙන් සාධනීය පියවරක් ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු වේ. ඒ ගැන කිසිඳු තර්කයක් නොමැත.


ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි ඇති මූලික විවේචනය එල්ල වී ඇත්තේ ආර්ථිකමය කාරණා ඔස්සේ මිස, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යය භාර්යය සම්බන්ධයෙන් නොවේ. නමුත්, මංගල පද්ධතියෙන් ඉවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම “විකර දේශප්‍රේමීන්ගේ” මූලික අවශ්‍යතාවය වේ. මෙය සිදු කිරීමෙන් රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යළිත් 2015 පෙර පැවති තත්වයට ඇද දැමිය හැකිය. එවිට, විපක්‍ෂයට “ශ්‍රී ලංකාවේ පුටින්” තැනීමේ මෙහෙයුම වඩාත් උපායශීලිව කරගෙන යෑමට අවශ්‍යය වටපිටාව සකස් කර ගත හැකිය.


තම දියණිය අදාළ විෂයභාර ඇමතිවරයාගේ බිරිඳ සමඟ එකතු වී ව්‍යපාර කටයුතු වල නියැලීමෙන් හෝ තම මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම හේතු කොට ගෙන ගතයුතු අතවශ්‍යය තීරණ ගැනීම නොකළොත් හෝ තම තීරණ ඔස්සේ නොකළ යුතු තැන්වලට අත තැබීමට ගියහොත් සිදුවන යහපතක් නැත. වෙනත් වචන වලින් කිවහොත් “ කැබිනට් සංශෝධන” මුවාවෙන් වෙනත් අහිතකර කටයුත්තක් සිදු කළ හොත් එය විකර දේශප්‍රේමය විකුණා තම පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සහ කරන “වියත්මඟ” නමැති කණඩායම හෝ එහි ඉදිරි පෙරමුණ වන ඒකාබද්ධ විපක්ෂය විසින් අටවන උගුලේ පැටලීමකි.

මීට මාස ගණනකට පෙර මා විසින් අවධාරණය කළ පරිදිම වියත්මඟ විසින් සමාජයේ පැළපදියම් කිරීමට උත්සහ කරන දේශපාලනය ඉතාම පරෙස්සමින් කියවිය යුතු කාරණයකි. ගෝඨාබය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් සතුරා ඉතාම මැනවින් කියවීමට සමත් අයෙකි. ඔහුගේ දේශපාලන න්‍යායපත්‍රය සාර්ථක කර ගැනීමටනම් වත්මන් ආණ්ඩුව තුළ මංගල අඩපණ කිරීම අත්‍යවශ්‍යය පියවරකි.

ජනතාව අතර මහත් අප්‍රසාදයකට ලක් වී ඇති මුදල් අමාත්‍යාංශය මංගල වෙත පැවරීම ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය ඉබේම ඉටුකරගත හැකිය. තම දේශපාලන ව්‍යාපාරයේ උන්නතිය යනු ආණ්ඩුව බෙලහීන කිරීමය. එය කළ හැකි එකම ආකාරය ආණ්ඩුව වැරදි තීන්දු තීරණ ගැනීමට පෙළඹවීම සහ ආණ්ඩුවේ සිටින විෂය දන්නා අයවලුන් අන්දමන්ද වීම සඳහා ඔවුහු පරිපාලනය තුළ අනාදාල කොට ආණ්ඩුව කෙරෙහි වූ කළකිරීමක් ඇතිකිරීමය.

රාජපක්ෂ මහතා බොහෝ උපායන් සාර්ථක වූ පසු “ඌ ලණුව කෑවා” යැයි කියන්නේ මෙවැනි අවස්ථා වලදීය. ගෝඨාබය රාජපක්ෂ මහතා සමරවීර මහතා ගැන ඉතාම හොඳ අවබෝධයක් ඇත්තෙකි. මහින්ද රාජපක්‍ෂ මහතා සහ මංගල සමරවීර මහතා අතර දේශපාලන විරසකයක් ඇති වූ අවස්ථාවේදී ගෝඨාබය රාජපක්ෂ මහතා වරක් කියූ අදහසකි. එනම්, “ අර හොඳට හිටිය මංගල කෑවේ ටිරාන් කියන ……….. තමයි”. එම වචන වල ඇති සැබෑ අර්ථය ඔස්සේ සඳහන් කරන මූලික දේශපාලනයක් තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනස් නොකළ යුතු තැනක් වෙනස් කොට තම පාලනය සාර්ථක කරගැනීමට උත්සහ කරන්නේ නම් එහි විනාශය මැනිය නොහැකිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2017 වන විට වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ඉරණම තීන්දු කරන බව මීට මාස කිහිපයකට පෙර සඳහන් කරනු ලැබුවේ අනුභව කරනු ලැබූ භෝජන හොඳින් ශරීරයට ධාරණය කරගැනීමට පමණක් නොවේ. එහි කියවිය යුතු මූලික දේශපාලන රටාවක් තිබේ. එසේම, මහින්ද සහ ගෝඨාබය යනු දකුණු ආසියාවේ ෆිදෙල් සහ රාහුල් බව ලියමින් ගෝඨාබය රාජපක්‍ෂ රුසියාවේ පුටින්, පිලිපීනයේ ධූත්‍රේ, තුර්කියේ එර්ද්ගොන් වැනි චරිත වලට ගැලපීම අහමෙබ්න් සිදුවන දෑ නොවේ. මෙවැනි අදහස් නියෝජනය කරන ඉතාම සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් තිබේ.

ආණ්ඩුව විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා මුහුණ දී සිටින මූලික අභියෝග කිහිපයකි. පළමුවැන්න, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු පරිසයක් නොමැති වීමය. දෙවැන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ “අසමතුලිත සහ දුර්වල” බලයක් සමඟ ඉතාම අවිශ්වාසයෙන් කටයුතු කිරීමට සිදුවීමය. තෙවැන්න, රට ආර්ථිකමය වශයෙන් ඉතාම දුර්වල වෙමින් පැවතීමය. මුදල් අමාතයවරයා දිගින් දිගටම සිදුකළ කටයුතු මෙන්ම ඔහුගේ බලහත්කාර මැදිහත්වීම් ඔස්සේ ආණ්ඩුව කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය බිඳීගොස් ඇත. ඒ නිසා නිවැරදි කළ යුතු මූලික ස්ථානය එය වේ.

එය නිවැරදි කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් යම් කිසි තලයකට රැගෙන ඒමට සමත් වූ අමාත්‍යවරයෙකුගේ විෂය පථය කඩා බිඳ දැමීම යහපත් කටයුත්තක් නොවේ. යම් ආකාරයකින් වත්මන් මුදල් ඇමතිවරයා විදේශ කටයුතු ඇමතිවරයා ලෙස හුවමාරු කොට වත්මන් විදේශ කටයුතු ඇමතිවරයා වෙනත් විෂයක් වෙත තල්ලු කළ හොත් සිදුවන විපාකය කුමක්ද? දේශීය වශයෙන් වත්මන් මුදල් ඇමතිවරයා කළ කටයුතු ජාත්‍යන්තර වශයෙන් සිදුකිරීමට යොමුවීම ඔස්සේ යළිත් දේශීය වශයෙන් සිදුවී ඇති අපකීර්තිය, ජාත්‍යන්තර වශයෙන්ද ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇත. එය විපක්ෂයට ඉතාම වැදගත් සහ යහපත් දේශපාලන පරිසයක් නිර්මාණය කිරීමකි.

ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි ඇති මූලික විවේචනය එල්ල වී ඇත්තේ ආර්ථිකමය කාරණා ඔස්සේ මිස, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යය භාර්යය සම්බන්ධයෙන් නොවේ. නමුත්, මංගල පද්ධතියෙන් ඉවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම “විකර දේශප්‍රේමීන්ගේ” මූලික අවශ්‍යතාවය වේ. මෙය සිදු කිරීමෙන් රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යළිත් 2015 පෙර පැවති තත්වයට ඇද දැමිය හැකිය. එවිට, විපක්‍ෂයට “ශ්‍රී ලංකාවේ පුටින්” තැනීමේ මෙහෙයුම වඩාත් උපායශීලිව කරගෙන යෑමට අවශ්‍යය වටපිටාව සකස් කර ගත හැකිය. මෙම නියෝජනයට මිනිස් ජීවිත යනු හුදු විෂයයන් පමණි. ඊට වැදගත් වන්නේ තම “දෘෂ්ටිවාදය” ජයග්‍රහණය කරගැනීම සඳහා ඕනෑම අවලස්සන කටයුත්තක් සිදු කිරීම මිස ජනතාව අතර සැබෑ නිදහස තහවුරු කිරීම නොවේ.

එබැවින්, උගුලේ පැටලී විනාශවීමට පෙර යම් යහපත් කටයුත්තක් කළ සහ කිරීමට හැකි හොරකම් නොකරණ අයවලුන් තමන්ගෙන් ගිලිහී යෑම වැලැක්වීම සඳහා වහාම කටයුතු කිරීම වැදගත් වේ. ලණු කෑමෙන් පසු අජීරණයට බෙහෙත් බීමට වඩා ලණු කෑමෙන් වැළකීමට හැකි නම් තම පරිපාලනය සාර්ථක කරගත හැකිය. එසේ නොවුණහොත් තම ප්‍රතිවාදීන් විසින් ඇටවූ උගුල් වල තම කැමැත්තෙන්ම පැටලී තම දේශපාලන ප්‍රතිරූපය විනාශ කරගත් පරිපාලනයක් නිර්මාණය වනු ඇත.

ශ්‍රී ලංකා ගාර්ඩියන්