බෞද්ධ සූත්‍ර දේශනා මාර්ගඵල අවබෝධය කෙරෙහි බලපාන්නේ කෙසේද?

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

සංජානනය නම් අවබෝධයයි. බෞද්ධ සූත්‍රදේශනාවල සංග්‍රහවනුයේ බුදුන්වහන්සේ  විවිධ අවස්ථාවලදී නොයෙක් පුද්ගලයින්ට ලබාදෙන ලද අනුශාසනාවල එකතුවකි.ත්‍රිපිටකය වර්ගවී ඇත්තේද මේ සූත්‍ර‍දේශනා සඳහා මෘතෘකා කරගනු ලැබූ ධර්ම කරුණුවල සංදර්භයට අනුකූලවය. මේ අනුශාසනාවලදී ඒ අයගේ සංජානන පැතිකඩ හඳුනාගෙන ඊට ගැලපෙන ලෙස මේ උපදේශන ලබාදී තිබේ.මේවා ලබා දී තිබෙනුයේ මිනිසුන්ට පමණක් නොව දේව, යක්ෂ, රාක්ෂ, ප්‍රේත, භූත වැනි අමනුෂ්‍යයන් හටද දහම් කරුණු පෙන්වා දුන් තැන් ත්‍රිපිටක බුද්ධ දේශනා තුළ දක්නට ලැබේ. එසේම නොයෙක් විට තිරිසන් සතුන්ගේ පවා සුගතිය පිණිස ක්‍රියාකළ ආකාරය සූත්‍රදේශනාතුළ අන්තර්ගතය.එහිදී මිනිසුන්ගේ මෙන්ම විවිධ සත්ව යෝනිවල සත්වයන්ගේ අවබෝධ ශක්තියට අනුව කරුණු වටහාදීමේ ක්‍රියා පිළිවෙත සකස්වී තිබේ. එක චතුරාර්ය සත්‍ය ධර්මය වුවද විවිධ අය තුළ ජීව විද්‍යාත්මක දක්නට ලැබෙන සංජානන විවිධත්වය මත එක් එක් පුද්ගලයාට ලබාදිය හැකි අවබෝධයද විවිධාකාර ස්වරූපවේ.ඇතැම් අයට දේශනා වහා ක්ෂණිකව අවබෝධ කරගත හැක. විස්තර සහිතව කියාදුන් විට අවබෝධ කරගැනීමට හැකියාව ඇති අයද වේ.ඊටත් වඩා අතිශය දීර්ඝ විස්තර විග්‍රහ කිරීම් හේතු නිදාන ආදිය අවබෝධය සඳහා අවශ්‍ය පුද්ගලයෝද සිටිති.මේ කිසිදු ක්‍රමවේදයක් භාවිතයෙන් කිසිවක්ම අවබෝධ කළ නොහැකි අයද සිටිති.මේ ආදී වශයෙන් පුද්ගලයා විවිධ වන අයුරු සූත්‍රදේශනා තුළ පැහැදිලි කර දී තිබේ.බුදුන් වහන්සේ තමන්වහන්සේට පමණක් සුවිශේෂී වූ ආසයානුසය ඥාණය මඟින් පුද්ගලයාගේ සංජානන මට්ටම මනාව දැන හැඳින ධර්මය දේශනා කළ නිසාම වහා ධර්ම අවබෝධය ලැබූ පිරිස ඉතා විශාල විය. බුදුරජාණන්වහන්සේගේ පෞද්ගලික පෞරුෂත්‍වය ශ්‍රාවක පිරිස බහුලවීමට ප්‍රධාන වශයෙන් බලපෑ බව පැහැදිලිය. බුදුරදුන් පිළිබඳව අනන්‍යයන් දැක්වූ ආකල්පයද සම්බුදු සසුනෙහි පැවිද්ද ලැබීමට මහජනතාව උත්සුකවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලද බව මේ අනුව වටහාගත හැකිය.[i]

බෞද්ධ සූත්‍ර දේශනා මඟින් එහි සංජානන පැතිකඩ මනාව විග්‍රහ කෙරේ.එහි ආනුපුබ්බීය රටාව මඟින් ක්‍රමිකව ශ්‍රාවකයාගේ අවධානය රඳවා ගැනීමට වටපිටාවක් සකසා ඇත.දේශනා මාධ්‍ය මනාව භාවිතා කරමින් අවශ්‍ය අරමුණ සාධනය කළහැකි ලෙස සූත්‍ර දේශනා ඉදිරිපත්ව තිබේ.සූත්‍රදේශනාවල ගැබ්වන සමස්ත දාර්ශනික හරය චතුරාර්ය සත්‍ය කුළුගැන්වීම පාදක කරගෙන ඇත.එක්වරම චතුරාර්ය සත්‍යය ඉදිරිපත් කිරීමට වඩා අවධානය රැඳවීමට මූලිකත්වය පිරිනැමී තිබේ.එමඟින් ක්‍රමික පියවර ඔස්සේ ශ්‍රාවක අවධානය ගිලිහී නොයන පරිදි දේශනාවේ හරය ලබාදීම අරමුණයි.මෙහිදී අවධානය මූලික දේශනාව කෙරෙහි රැඳවීම පිණිස විවිධ උපක්‍රම භාවිතා වී තිබේ.එහිදී මානවයාගේ සහජ මානසික හැඩතල හා පැහැයට අනුරූප වන පරිදි චාලක ලක්ෂණයේ සිට භාවමය හැඟීම් නිවා දැමීමටත් අනතුරුව බුද්ධිමය පැතිකඩ අවදිකිරීමටත් ක්‍රියා කර තිබේ.සීල, සමාධි හා ප්‍රඥා ලෙස අනුක්‍රමික ප්‍රතිපදාව සැකසී ඇත්තේ මීට අනුගතවය.දේශනා මාධ්‍යය පවා සකස්ව ඇත්තේ මේ අනුක්‍රමික ප්‍රතිපදාවට ඔබින ලෙසය.ඒ අනුව මුලදී දාන කථාව හෙවත් දානයේ අනුසස් පිළිබඳ පැහැදිලි කරදෙනු ලැබේ.දැනය නම් ආමිෂ වස්තු අත්හැරීමයි.මේ මඟින් උපරිභෝග භෞතික වස්තු පිලිබඳ තෘෂ්ණාව අඩු කරනු ලැබේ.මෙය ප්‍රධාන වනුයේ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීම සත්වයාගේ සහජ ලක්ෂණය වන බැවිනි.මූලික මානව අවශ්‍යතා ලෙස සැලකෙනුයේ ආහාර පාන,වස්ත්‍ර,නිවාස හා ආරක්ෂණ අවශ්‍යතා වැනි දේයි.ඊට අමතරව ඖෂධ හා වෙනත් ප්‍රත්‍ය අවශ්‍යතාද මූලික අවශ්‍යතා ගණයෙහිලා සැලකිය හැකිය.බොහෝවිට සූත්‍ර දේශනාවල දානය වර්ණනා කර තිබෙනුයේ කෙනෙකුගේ මුලික අවශ්‍යතා තෘප්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය කරන භෞතික ද්‍රව්‍ය කෙරෙහි පවතිත ඇල්ම දුරුකිරීමේ පරමාර්ථය ඉටුකර ගැනීම සඳහාය. ඕනෑම අයෙකුට බෞද්ධ ප්‍රතිපදා‍වේ ආරම්භක පියවර සේ මෙ‍ය ක්‍රියාත්මක කළහැකිවීම විශේෂත්වයකි.[ii]

ඇතැම් පුද්ගලයින්ගේ සිත දානයට පහසුවෙන් නැඹුරු කරගත නොහැකිය.තද මසුරු අයට එක්වරම අත්හැරීම පුහුණුවිය ‍නොහැකිය.ඔවුන්ගේ සිත මොළොක් කර කුශල මාර්ගයට ප්‍රවේශකර වීම සඳහා ඊට වඩා සිත පහසුවෙන් ඇඳ ගන්නා සංජානන ක්‍රමවේදයක් තිබිය යුතුය.මේ සඳහා සූත්‍ර දේශනාවල සඳහන් වනුයේ ත්‍රිවිධ රත්නයේ ගුණ විශේෂයි.එනම් බුදුගුණ, සදහම් ගුණ හා සංඝ පිරිසේ ගුණ ආදී වශයෙන් මෙලොව එකම පිහිට ලැබිය හැකි මඟ ත්‍රිවිධ රත්නයම පමණක් බව මනාව සංජානනයවීම නිසා පුද්ගලයාගේ සිතේ අත්හැරීම ප්‍රගුණවීමට සුදුසු මානසික වටාපිටාවක් ඇතිවේ.ත්‍රිවිධ රත්නය පිළිගැනීම නිසා එහි ගුණ ලැබීමට නම් ඊට අනුගතව දිවි පැවැත්ම සකස්කර ගත යුතුබව පැහැදිලිවේ.ත්‍රිවිධ රත්නයේ ගුණවලින් ප්‍රකාශ වනුයේ අත්හැරීමේ ඇති අගයයි.වඩාත් ප්‍රතිඵලදායී වනුයේ රැස්කිරීමේ ක්‍රමවේදයේ නොව අත්හැරීමේ ක්‍රමවේදයතුළ බව ත්‍රිවිධ රත්නයේ ගුණ තුළ ප්‍රකාශයට පත්වී තිබේ.ත්‍රිවිධ රත්නයෙන් යම් පිහිටක් ලැබිය හැක්කේ ප්‍රතිපත්ති ගරුකව විසීමෙන් බව අවබෝධ කරගන්නා පුද්ගලයා ත්‍රිවිධ රත්නයෙන් ප්‍රකාශයට පත්වී ඇතිගුණ අනුවම ජීවත්වීමට වෙහෙස ගනී.පුද්ගලයෙකුගේ ප්‍රධාන අවශ්‍යතා අතර ජීවිතය නොසිඳ පවත්වාගැනීමේ ආශාව මූලිකව වැදගත්වේ.ආහාර පාන,නිවාස,වස්ත්‍ර හා ආරක්ෂණ අවශ්‍යතා වැදගත්වනුයේ මේ ජීවිතය පවත්වාගැනීමේදී ඒවා උපාය මාර්ගිකව වැදගත්වන බැවිනි.එනිසා මූලික අවශ්‍යතා වලටද වඩා ජීවිතය රැකගැනීමේ හා පවත්වාගැනීමේ අවශ්‍යතාව වඩා බලවත්බව කිව යුතුය.සෑම දෙයක්ම අවශ්‍ය වනුයේ ජීවිතය සුරැකී පැවතුනහොත් වන බැවිනි.එනිසා ජීවිත ආරක්ෂාව තකා ක්‍රියාකිරීමට ඕනෑම පුද්ගලයෙකු පෙළඹේ.[iii]

සූත්‍ර දේශනා මඟින් ත්‍රිවිධ රත්නයේ ගුණ වලින් ප්‍රධාන වශයෙන් මේ ජීවිතය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයට ප්‍රතිකර්ම සැලසී තිබේ. ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබීම නිසා මෙලොව වශයෙන් යමෙකුගේ දිවි පවත්වා ගැනීමට අවශ්‍යවූ ආයුෂ,වර්ණය,බලය,සැපය හා කායික,මානසික ශක්තිය ලැබීම මූලික බව දක්වා ඇත.ඕනෑම සත්ව සංජානනයක් ආමිෂයට ඇදී යාම ස්වභාවිකය. එයින්ද සිය ජීවිතය පවත්වාගැනීමට අවශ්‍යවන මූලික අවශ්‍යතාවලට සිත ඇදීයාම ප්‍රමුඛය.එම නිසා එබඳු අවශ්‍යතා තෘප්ත කරවිය හැකි මඟක් වශයෙන් ශ්‍රද්ධාව මෙහිදී සංජානනය කෙරේ.ත්‍රිවිධ රත්නයේ ගුණලෙස සංජානනය වන්නේ ශ්‍රද්ධාවයි.මෙහිදී ශ්‍රද්ධාවේ මූලික හැඩතල දෙකක් පිළිබඳව දක්වා ඇත.එනම් අමූලික ශ්‍රද්ධාව හා අකාරවතී ශ්‍රද්ධාවයි.මින් අමූලික ශ්‍රද්ධාව යනු විචාර පූර්වක නොවූ විශ්වාසයයි.යමක් පිළිබඳව පූර්ණ ලෙස සංජානනය කළ නොහැකි අවස්ථාවලදී ඇතිවූ පිළිගැනීම් මාත්‍රවූ ආකල්පය අමූලික ශ්‍රද්ධාව සේ සැලකිය හැක.සංජානනයේ අවස්ථා රාශියක් තිබේ.ඉන්ද්‍රිය සංජානනය මෙන්ම අතීන්ද්‍රිය සංජානනය වශයෙන් වර්ගීකරණයට ලක්වී ඇත්තේ විවිධ සංජානන අවස්ථා වේ.අමූලික ශ්‍රද්ධාව ඉන්ද්‍රීය සංජානනයේත් ප්‍රාථමික අවස්ථාවකට අයත්වන්නකි.මෙහිදී සුවිශේෂී වනුයේ අමූලික ශ්‍රද්ධාව වර්ධනය වී නොයන බවයි.එනම් ශ්‍රාවකයාට කිසි දිනෙක මෙහි සත්‍ය අසත්‍ය තාවය වටහාගැනීමට නොලැබේ.මේ හේතුව නිසා අමූලික ශ්‍රද්ධාව මඟින් පරිපූර්ණ ඉන්ද්‍රීය සංජානනය සිදු නොවනබව සැලකිය හැකිය.අවම මට්ටමින් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය පවා ‍මින් ලැබිය නොහැකි බැවිනි.ඒ නිසා බෞද්ධ සූත්‍ර දේශනාවල අමූලික ශ්‍රද්ධාව ප්‍රතික්ෂේපකර තිබේ.[iv]

බෞද්ධ සූත්‍ර දේශනාවන්හි අගය කර දක්වා ඇත්තේ අකාරවතී ශ්‍රද්ධාවයි.එය ප්‍රත්‍යක්ෂය ප්‍රමාණය කොට ගත්තක් බැවින් කිසියම් දිනෙක ශ්‍රාවකයාටම පුර්ණ ප්‍රත්‍යක්ෂය කරා පැමිණ එය අවබෝධ කරගන්නා තෙක් ඇති කරගන්නා විචාරපූර්වක විශ්වාසය අකාරවතී ශ්‍රද්ධාව වේ.මෙහිදී සංජානනය ලබනුයේ අතීන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයක් වශයෙනි.ඉන්ද්‍රිය සංජානනය භාවිතා කර අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කරා පැමිණෙන මේ ක්‍රමවේදය දත් දේ සිට නොදත් දේ කරා යන අධ්‍යාපන මනෝ විද්‍යාත්මක මූලධර්මය මෙහිදී භාවිතා වේ.අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය එක්වරම ඇතිකර ගත නොහැකිය.ඒ නිසා මූලිකව ඉන්ද්‍රිය සංජානනය ඉවහල් කරගෙන ක්‍රමයෙන් නිරීක්ෂණ ශක්තිය, සිහිය වැඩි දියුණු කරමින් එක්තරා අවස්ථාවකදී සියල්ල කිසිදු ඉන්ද්‍රීය භාවිතයකින් තොරව නුවණින් වැටහීම සිදුවේ.මේ අවස්ථාව කරා සංජානනය මෙහෙයවනුයේ අකාරවතී ශ්‍රද්ධාව මඟිනි.සූත්‍ර දේශනාවලදී ශ්‍රාවකයාතුළ මේ අකාරවතී ශ්‍රද්ධාව ජනනය කරවීමට වෑයම් කරනුයේ එමඟින් පසුකලක ප්‍රඥාව ඇති කර ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන බැවිනි.දානය හා සීලය යන කරුණු එකසේම ක්‍රියාත්මක  කරගැනීමට අකාරවතී ශ්‍රද්ධාව හොඳින් වර්ධනයවී තිබීම පහසුවකි.යමෙකු ගිහි ගෙය කළකිරීමට පත්ව පැවිදිබව ලැබීමට යොමුවනුයේද අකාරවතී ශ්‍රද්ධාව නිසාය.එසේම දානය,සීලය හා භාවනාව යන කරුණු තුන සම්පූර්ණ කිරීමට මඟ පෙන්වනුයේද අකාරවතී ශ්‍රද්ධාවයි.බුදුදහමේ ශ්‍රද්ධාව මුල් ගුණාංගය සේ සැලකෙනුයේද මේ නිසාය.ශ්‍රද්ධාව නිසා සෙසු ගුණධර්ම සියල්ල සම්පූර්ණවේ.මේ ආකාරවතී ශ්‍රද්ධාව හඳුනාගැනීමට ඇති ක්‍රමය නම් බුද්ධ,ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නය විෂයේ ඇති වන අචල ශ්‍රද්ධාවද ආර්යකාන්ත ශීලයෙන් සමන්විතවීමද දක්වා තිබේ.[v]

ඊළඟට සීලයේ කුශල විපාක ලෙස විස්තර කරනු ලබන්නේ මෙලොව හා පරලොව සුගති සැප අත්පත්වන ආකාරයයි.මෙය සග්ග කථා ලෙස හැඳින්වේ.ජීවත්ව සිටියදීම මෙලොව වශයෙන් සුගතියට පත්වීම හා මියයාමෙන් පසුව දෙව්ලොව ආදී කාමාචර සුගතිවල ඉපදීමත් දක්වා තිබේ.ඒ දැක්වීම බුදුදහමේ හරය නොවේ.නමුදු ප්‍රධාන අරමුණ වන නිවන් අවබෝධයට පැමිණවීම සඳහා භාවිතා වන ප්‍රධාන ක්‍රමවේදයට අයත් මූලික පියවරකදී භාවිතාවන උත්තේජකයක් පමණක් ලෙස මෙසේ කාමාවචර සුගති සැප විපාක පෙන්වා දී ති‍බේ.ශ්‍රාවකයාගේ සිත ඉන් කුළු ගන්වමින් නිවන තෙක් රැගෙන යාම ඉන් අපේක්ෂිතයි.සග්ග කථා අවසන් කරනුයේ කාමයේ ආදීනව දැක්වීමෙනි. එය බෞද්ධ සූත්‍රදේශනාතුළ මැනවින් විග්‍රහවී තිබේ.මින් ශ්‍රාවකයා සුගතිය ලැබීම වුවද දුක් සහිත බව සංජානනය කරගනී.එනිසා ශ්‍රාවකයාතුළ සුගතිසැප ලැබීමේ නිස්සාරත්වය අවබෝධවේ.එය අවසාන පියවර වන නිර්වාණාවබෝධය පිනිස ඉවහල් වේ.අවසාන පියවර වූ නිර්වාණාව‍බෝධය විඳීමක් නොවේ. එය විඳීම් සහගත සියල්ලෙන් මිදීම නිසා ඇතිවූ නොවිඳීම් සහගත තත්වයකි.එය නිවන් සුවයක් ලෙස හඳුන්වා ඇත්තේ සියළු විඳීම් විපරිණාමී ස්වභාවයට පත්වන බැවින් එබඳු වූ විඳීම් වලින් මුළුමනින්ම මිදීම සුවයක් යැයි සලකා ඇති බැවිනි.මෙහිදී සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේ භාවිතාවේ ඇති වචනවලට ලබාදෙන පොදු අර්ථ නිසා ඇතිවන වැරදි වැටහීමකි.සැප යන වචනය ව්‍යවහාර භාෂාවේ භාවිතාවනුයේ විඳින සැප අර්ථදැක්වීම සඳහාය.මේ නිසා නිවනේ ඇති සැප මින් දැක්වීමේදී අසන්නා සිතනුයේ එයද ඔහුගේ අවබෝධයට හසුවන සෙසු විඳින සැප මෙන්ම වූවක් බවයි.මෙය වැරදිය.මේ වරද නිවැරදි කර හැකිතාක් නිවැරදි අරුතට ළංවීම සඳහා අවෙයිදිත සුඛය යන ව්‍යවහාරයක් භාවිතයේ තිබේ.නිවන් අව‍බෝධය නිසා ලැබිය හැකි නොවිඳීන සැපය දැක්වීම සඳහා මේ අවෙයිදිත සුඛ යන්න භාවිතා වේ.මෙහි තේරුම නොවිඳින සැපය යන්නයි. අවේදයිත සුඛය එක්තරා ආකාරයක බුද්ධිමය පැවැත්මක්ද වේ.එනම් දුක, දුකට ඇතිවීමට හේතුව, දුකින් මිඳීම හා දුකින් මිදියහැකි මාර්ගය යන චතුරාර්ය්‍ය සත්‍ය අවබෝධයට පත්වීම නිසා සිතතුළ කිසිදු සෘණාත්මක මානසික ආවේගයක් ඇතිනොවන මට්ටමකට පත්වන බවත් සැලකිය හැකිය.එසේම මේ අති පාරිශුද්ධ මානසික මට්ටම මාර්ගඵල අවබෝධයට පත්වීම ලෙස අර්ථදක්වා ඇතිබවද දැක ගත හැකිය.[vi]

සූත්‍රදේශනාවලදී බොහෝවිට ආනුපුබ්බීය ක්‍රමවේදය අනුගමනය කර ඇත.එනම් නිශ්චිතවූ අනුපිළිවෙළකට අනුව ධර්ම කරුණු ගලපා ඉදිරිපත් කිරීමයි.එහිදී සූත්‍රදේශනා වඩා සරළ දෙයකින් ආරම්භව පිළිවෙලින් දහමේ ගැඹුර වෙත පිවිසීම මෙහි ලක්ෂණය වේ.බුදුරදුන් කෙරෙහි ප්‍රසාදයට පත් බ්‍රහ්මායු පඬිවරයා හා පොක්ඛරසාදී බ්‍රාහ්මණයා ආදී පුද්ගලයින්හට සූත්‍රදේශනා මඟින් ධර්මය ඉදිරිපත් කිරීමේ දී මෙම ක්‍රමවේදය අනුගමනය කර ඇතිබව දීඝ නිකාය අනුව පැහැදිලිවේ.[vii]මෙහිදී අනුපිළිවෙලින් දාන කථා,සීල කථා,සග්ග කථා,කාමයේ ආදීනව කථා,කාමයන්ගෙන් වෙන්වීමේ ආනිසංශ යනාදී කරුණු හඳුන්වාදී අනතුරුව සිතෙහි නිරෝගීබව,මෘදුබව ඇතිකරවා පහන්වූ සිත් ඇති අයට චතුරාර්ය සත්‍යය ඇතුළත් සූත්‍රදේශනා දේශනා කරනු ලැබීය.බුදුවරුන්ගේ සාමුකාංසික දේශනා තුළ ගැබ්විය යුතු හරය එය ලෙසද පැහැදිලි කරදී තිබේ.සූත්‍රදේශනාවල සඳහන් වූ ධර්මය අනුපුබ්බ සික්ඛා,අනුපුබ්බ පටිපදා හා අනුපුබ්බ කිරියා අනුව සකස්වී තිබේ.සූත්‍රදේශනාවල පළමුව උද්දේසය දක්වා අනතුරුව ධර්ම කරුණු වෙන් වෙන්ව ගෙන විභාග කර බැලීමේ ක්‍රමය විභංග ක්‍රමවේදයයි.මජ්ඣිම නිකාය විභංග වර්ගයේ භද්දෙක රතන සූතයේද[viii],චුල්ලකම්මවිභංග[ix], මහා කම්ම විභංග[x] හා ධාතුවිභංග[xi] ආදියේ ඇතුළත් විවිධ සූත්‍රදේශනාවලත් මේ ක්‍රමවේදය පැහැදිලිව දක්වා තිබේ. මෙය නූතන මනෝවිශ්ලේෂණවාදී ක්‍රමවේදයෙහි පවා විද්‍යමානය.සමහර පුද්ගලයන් තුළ තිබූමානසික හැකියාව අනුව ඔවුන්ට වේගවත්ව සූත්‍රදේශනා අවබෝධ කරගතහැකිවිය.තවත් සමහරුන්ගේ අවබෝධ කිරීමේ හැකියාව ඉතා මන්දගාමී වී තිබේ.තවත් කොටසක් මේ අතරතුර අවස්ථාවල පසුවූහ.ඇතැම් අයට කෙසේවත් අවබෝධය ඇති කරවියහැකි නොවින. ඇතැම් සූත්‍ර දේශනාවන්හි අර්ථය නිවැරදිව ග්‍රහණය කරගත නොහැකි වූ ඇතැම් අය විසින් නියම බුද්ධ දේශනාවන්හි අර්ථය වරදවා අවබෝධ කරගෙන සෙසු අයටද එසේම විස්තර කර දීමට උත්සාහවත්වීම ඔවුන්ට දීර්ඝ රාත්‍රියක් අහිත පිණිස දුක පිණිස හේතුවිය හැකි බව බුදුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. එබඳු අය සූත්‍ර දේශනාවල දී බුදුරදුන් විසින් හඳුන්වා ඇත්තේ මෝඝ පුරුෂ හෙවත් මෝඩ මිනිසා යන නාමයෙන් බව දැකගත හැකිය.[xii]

බුදුදහමේ අවසන් නිෂ්ටාව වන නිවනට සත්වයා මෙහෙයවීම සඳහා විවිධ මට්ටම්වලදී ඊට අදාළවූ පියවර අනුගමනය කර උත්තේජකයක් ලෙස ඒ මට්ටම්වල පවතින හොඳම අනු අවස්ථාව සලකා ඇත.කාම සුගති සැප උත්තේජයක් සේ භාවිතා කර ඇත්තේ ඊට පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට පැමිණීම සඳහා පමණි.අදාළ මට්ටමට පැමිණි පසුව එහි ආදීනව පෙන්වා කළකිරීම ඇති වන ලෙස සූත්‍ර දේශනා ඉදිරිපත්ව තිබේ.මන්ද බුදු දහමේ අවසාන පරමාර්ථය වන නිවන ශාක්ෂාත් කර ගැනීමට උපක්‍රමශීලීව භාවිතා කරන උත්තේජකය වුවද අත්හැරීමට සිදුවන බැවිනි.නොයෙක් ලෙසට කාමයෙහි ආදීනව දැක්වීමෙන් පසුව කාමයෙන් මිදී සිටීමට හැකි නම් කොතරම් සැපයක් දැයි ශ්‍රාවකයාටම වැටහෙන්නට පටන් ගනී.එය ආදීනව දැක ඉන් මිදීමට කැමැත්ත ඇති කරවීම පිණිසය.ශ්‍රාවකයාගේ චිත්ත අභ්‍යන්තර අයහපත් ප්‍රේරණවලින් සිත මුදවීම මෙහි පරමාර්ථයයි.‍ කෙලෙස් වශයෙන් දැක්වෙනුයේ මේ අභ්‍යන්තර ප්‍රේරණමය.අයහපත් අභ්‍යන්තර ප්‍රේරණවලින් නිදහස්විය හැකි ක්‍රමවේද ප්‍රධාන වශයෙන් දෙකක් තිබේ. එකක් නම් අභ්‍යන්තර ප්‍රේරණ හැකිතාක් යටපත් කිරීමය.මෙය සමථ චින්තනය මඟින් සිදුවේ. අනෙක අභ්‍යන්තර ප්‍රේරණවලින් ස්ථිර ලෙස නිදහස්වීමයි.මෙය විදර්ශනා චින්තනය මඟින් සිදුවේ.මේ විදර්ශනා චින්තනය බුදුදහමට පමණක්ම සුවිශේෂීවූවකි.සමථ චින්තනය ඔස්සේ පෙළ ගැස්වූ සමථ භාවනාක්‍රම බුදුහිමියන් පහළවීමට පෙර පවා භාරතයේ අතිශය ජනප්‍රියව පැවතින.සිද්ධාර්ථ තවුසා මුලදී අනුගමනය කළදේ සමථ භාවනා ක්‍රමයයි.එමඟින් අෂ්ට සමාපත්ති දක්වා අධ්‍යාත්මික දියුණුවක් අත්පත් කරගත හැකි විය. බුදුහිමියන්ගේ පළමු ධර්ම දේශනාව වූ බරණැස ඉසිපතනයේ මිගදායෙහි පැවැති ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවෙහි හරය මධ්‍යම ප්‍රතිපදාව ලෝකයට හඳුන්වා දීමයි. [xiii]ශ්‍රමණ, බ්‍රාහ්මණ, දේව, මාර ආදී කිසිදු පුද්ගලයෙකුහට පැවැත්විය නො හැකි අනුත්තර වූ ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍ර දේශනාව සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් එහිදී දේශනා කළ සේක. එහිදී මෙතාක් කල් සත්‍යය අවබෝධය පිණිස නියම ක්‍රමවේදය ලෙස පිළිගැනී පැවති වැරදි සහගත අන්තවාදී පිළි ගැනීම් දෙකක් බැහැර කර තිබේ. එම අන්ත දෙක නම් කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගයයි. මේ කාමසුඛල්ලිකානුයෝගී පිලිවෙතම උච්චේදවාදය ලෙස හැඳින්වෙන අතර අත්තකිලමථානුයෝගී පිලිවෙතම ශාස්වතවාදය ලෙස අර්ථ දක්වා තිබේ.

දේශනා මාධ්‍යය උපයෝගී කරගනිමින් ශ්‍රාවකයාගේ මනසේ සංජානන හැකියාව වැඩි දියුණු කරනු ලැබේ.ඇසූ වචන මඟින් නිරීක්ෂණ ශක්තිය ඇතිකර සිහිය යොදවා ශරීරය හා මනස තුළ අරමුණු ගැනීමේදී සිදුවන අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීම මෙහි ප්‍රධාන වේ.ඒ තුළින් මෙතෙක් කළක් ලැබුණු ඉන්ද්‍රීය සංජානනය සම්පූර්ණ නිවැරදි අවබෝධයක් නොවන බව වටහා ගනියි.අරමුණු නිවැරදිව ග්‍රහණය කරගැනීමට අසමත්වනුයේ සිහිය හා නිරීක්ෂණය ඊට අදාළ ක්‍රියා ශක්තියෙන් නොපැවති නිසාබව මෙහිදී වැටහේ.ශ්‍රාවකයා බුදුන් වහන්සේගේ වචන කෙරෙහි පමණක්ම විශ්වාසය නොතබන අතර විශ්වාසයට පදනම වනුයේ ස්වයං ප්‍රත්‍යක්ෂයයි.එබැවින් බුදු දහම විශ්වාසය හුදෙක් අන්ධාරනුකරණයෙන් තිබීම අනුමත නොකරයි.බුදුදහමේ විශ්වාසය ස්වයං ප්‍රත්‍යක්ෂය ප්‍රමාණකොට ඇත.ඒ නිසා සූත්‍රදේශනා ඇසූ පමණින්ම එය අධානග්‍රාහී ලෙස විශ්වාස නොකර ඒවා සත්‍යදැයි විමසාබලා විචාර පූර්වකව අවබෝධ කරගන්නා මෙන් දක්වා තිබේ.ධර්මය පහුරකට උපමාකර ඇති බවත්,තණ්හාවේ උපදානයන්ගේ නිරුද්ධිය ඉන් අපේක්ෂිත බවත් දක්වා ඇත.ධර්මය ඉවහල්කරගෙන තණ්හා,මාන,දෘෂ්ටි හා උපාදාන ඇතිකර නොගත යුතුබව දැක්වීමද වැදගත්ය.යමක් අවිචාර පූර්වකව අධාන ග්‍රාහීව පිළිගැනීම නිසා තණ්හා,මාන,දෘෂ්ටි ඇතිවේ.ධර්මය කෙනෙකු පිළිගත යුත්තේ එය ස්වයං ප්‍රත්‍යක්ෂ සීමාවතුළ පිහිටා බැවින් ඒ පිළිබඳව තණ්හා,මාන, දෘෂ්ටි ඇතිකර ගැනීමට ඉඩක් නොලැබේ.සැබවින්ම තණ්හා,මාන,දෘෂ්ටි අභ්‍යන්තරව ඇතිවියහැකි අයහපත් ප්‍රේරණ බිහිවීමට හේතුවකි.නිවන් අවබෝධය නම් ඒ සියල්ලෙන් මිදීමයි.ධර්මය පදනම් කරගෙන ඇත්තේ නිවන් අවබෝධය බැවින් එකී නිවන් අවබෝධයට අවහිර කරන ධර්මතා එයට ඇති මඟ විය නොහැකිය. එනිසා සූත්‍රදේශනාවන්හි පරමාර්ථය ශ්‍රාවකයා තණ්හා,මාන,දෘෂ්ටි වලින් හැකිතාක් එතෙර කරවීමයි.බුදුන් වහන්සේගේ මුල්ම සූත්‍ර දේශනාව ලෙස සැලකෙන ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනා පිළිබඳව විමසා බැලීමෙන් වුවද මෙකී කරුණු නිරීක්ෂණය කළ හැක.එහිදී පළමු වරට ද්විඅන්තවාදී චින්තනක්‍රමවලින් වියුක්තවීම නිවන් අවබෝධයට මඟබව ධම්මචක්ක ප්‍රවර්තන සූත්‍ර දේශනාවේ හරය ලෙස ඉදිරිපත්විය.[xiv]

ශාස්වත හා උච්ඡේද වාද බිහිවනුයේ තණ්හා,මාන,දෘෂ්ටි නිසාය.කායික හා මානසික ක්‍රියාකාරීත්වය නිසා ජීව සම්මුතිය ලැබේ.කායික හා මානසික ක්‍රියාකාරීත්වයට බලපාන තණ්හා,මාන,දෘෂ්ටි නිසා අයහපත් අභ්‍යන්තර ප්‍රේරණ ඇතිවේ.මේ අභ්‍යන්තර ප්‍රේරණ තාවකාලික ලෙස යටපත්කර සාර්ථකව සමාජ සබඳතා පැවැත්වියහැක.එසේම අභ්‍යන්තර ප්‍රේරණවල බලපෑම මැඩ පවත්වා එහි බලපෑම සමාජ සබඳතාවලට නොදැනෙන පරිදි කෙනෙකුට සාර්ථකව සමාජයේ දී කටයුතු කළ හැක.එනිසා තාවකාලිකව සිය අභ්‍යන්තර අයහපත් ප්‍රේරණ යටපත්කළ අයෙකු හා ස්ථිරව අභ්‍යන්තර අයහපත් ප්‍රේරණවලින් මිදුනෙකු අතර මතුපිටින් දැකගත හැකි විශාල වෙනසක් නැත.වෙනසක් තිබුණද,ඒවෙනස දැකගත හැක්කේ සිත ඇතුළත පසුබිම තුළ මිස බාහිර පෙනුමේ නොවේ.එම අභ්‍යන්තර අයහපත් ප්‍රේරණ කෙළෙස්, නීවරණ, සංයෝජන, දෘෂ්ටි ආදී නම්වලින් හැඳින්වේ.එසේ නම්වලින් හැඳින්වෙතත් විවිධ අවස්ථාවලදී ඒවා එනමින්ම ඉදිරිපත් නොවේ.බොහෝවිට සිතිවිලි හා හැඟීම් මඟින් පුද්ගලයෙකුව නොමඟ යවා යහපත් ඒවා ලෙස හුවා දක්වමින් අයහපත් ප්‍රේරණ ඇතිවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.මෙසේ ඇතිවීමේදී ඒවා චිත්ත වඤ්චක ධර්ම යනුවෙන් හැඳින්වේ.සිහි නුවණින් සැලකිල්ලට ගැනීම මඟින් මෙබඳු රැවටීම්වලින් වැළකී කටයුතුකල හැක.‍ මෙහිදී ක්‍රියාවට වඩා චේතනාවේ වැදගත්කම අවධාරණය කර දක්වා ඇත්තේ ඇතැම් අවස්ථාවලදී පිටතින් ‍විද්‍යමාන ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනත් ස්වවරූපයක් පුද්ගලයාගේ අභ්‍යන්තර සිත තුළ ක්‍රියාත්මක විය හැකි බැවිනි.මේ නිසා යමෙකු සිදුකරන යම්කිසි ක්‍රියාවක් මතුපිටින් පමණක්ම නිරීක්ෂණය කර ඉන් පුද්ගල අභ්‍යන්තරය පිළිබඳව විනිශ්චයන්ට එළඹීමේ ඇති අයෝග්‍යතාවයද වටහාගත යුතුය.සූත්‍ර දේශනාවලදී කර්මඵල විපාක බිහිවනුයේ චේතනාව අනුවබව දැක්වේ. මේ හේතුව මත බුදුහිමියන් විසින් කර්මය නම් චේතනාව යැයි පැහැදිලි කර දී ඇත.[xv]

මේ අභ්‍යන්තර ප්‍රේරණවලද විවිධ මට්ටම් තිබේ.නීවරණ නාමයෙන් දැක්වෙනුයේ නිවන් මාර්ගය ආවරණය කරන කරුණු පහකි.ඒවා පංච නීවරණ ධර්ම නමින් හැඳින්වේ.ඊට වඩා සියුම්වූ අභ්‍යන්තර ප්‍රේරණ දහයක් සිත තුළ ඊට යට තිබෙන ස්ථරය තුළ ක්‍රියාත්මක වේ.මේ දශසංයෝජන නම් වේ.සංයෝග යනු සසරට පුද්ගලයා බැඳ තබන කරුණු බැවිනි.මේවාටද යටින් අනුසය ධර්ම නම් වූ තවත් ඉතාම සියුම් අනු සහගත වූ අභ්‍යන්තර ප්‍රේරණ සමූයක් තිබේ.අනුසය යනු සියුම් යනු වේ.සූත්‍ර දේශනාවල දැක්වෙන කරුණු මඟින් මෙහි දැක්වෙන අවසාන පියවර වලට ලඟාවීමේදී ඒ පවතින අවස්ථාවේ සිත තුළ ගොඩනැඟී ඇති අභ්‍යන්තර ප්‍රේරණ සියල්ලෙන් සිත මුදවාගැනීමට අවශ්‍යය.ඒ සඳහා සුදුසු භාවනා ක්‍රමයක් ඇත.එය බුදුරදුන්ගේ සොයාගැනීමකි.විදර්ශනා භාවනාව යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ක්‍රමවේදයයි.විදර්ශනා භාවනාව එක්තරා දාර්ශනික චින්තනයකි.එහි මුඛ්‍ය හරය ප්‍රඥාව අවධි කරගැනීමයි.සුදුසු පරිදි සිත හික්මවීමට සමත් සූත්‍ර දේශනාවක් ශ්‍රවණයවීම මඟින් ශ්‍රාවකයා තුළ විදර්ශනා භාවනාව වැ‍ඩෙන්නට සැලැස්විය හැක.බුදුවරුන්ගේ සාමුකංසික දේශනාව වූ චතුරාර්ය සත්‍ය කුළු ගැන්වූ දේශනා මඟින් ශ්‍රාවකයා මඟඵල අව‍බෝධයට පත්කිරීමට හැකියාව ඇත.බුදුවරු හා උන්වහන්සේගේ මුල් පෙලේ අර්හත් භික්ෂුන්වහන්සේලා සූත්‍ර දේශනා දේශනා කිරීම මඟින් පමණක් ශ්‍රාවයකින් මාර්ගඵල අ‍වබෝධයට පත්කරවනුයේ විදර්ශනාභාවනා පිළිවෙත දේශනා මාධ්‍යයතුළින් වැඩෙන්නට සැලැස්වීමෙනි.එය ඉතා අපහසු කාර්යයකි.නමුදු එය කළ හැක.එය කිරීමට සමත්කම් ඇති උතුමන් දැනට වර්තමාන සමාජයේ නැතිවිය හැක.මන්ද එය කිරීමට සුදුසුකම් සම්පූර්ණ කරතිබූ උතුමන් මේ වන විට සසර නිමකර අවසන්වූ හෙයිනි.මෙකල දක්නට ඇත්තේ වසර දහස් ගණනන් කාලය ඉකුත්ව යාමෙන් පසුව බොහෝකොටම නෂ්ටාශේෂ වී යාමෙන් අනතුරුව ඉතිරිවූ අති සංශිප්ත සූත්‍ර දේශනාය.ඒවා පෙර බුදු මුවින් නිකුත්වූ සූත්‍රදේශනා වල වාර්තාවක් හා සමානය.ආනන්ද හිමියන් හා සෙසු ශ්‍රාවක හිමිවරුන් විසින් විවිධ අවස්ථාවලදී තමන් ඇසූ බුද්ධ දේශනා හා දේශනාවල අර්ථකථන වාර්තා ස්වරූපයෙන් සංගෘහිත කළ හැඩතල සූත්‍ර දේශනාවන්හි නිරූපිතය.ඒවා හැකිතාක් මුල් දේශනා අරුතට සමීපවෙමින් සජීවීව පවත්වා ගැනීමට දරණ ලද උත්සහයක් අට්ඨකථාවල නිරූපිතය.[xvi]

විදර්ශනා භාවනාව දාර්ශනික අවබෝධයක් ඇතිවීම අරමුණු කර පවතී.ඒ දාර්ශනික ඥාන අවබෝධය පදනම්කර ගෙන ඇතිවේ.මෙම අවබෝධය නම් නිවන් අවබෝධයයි.අභ්‍යන්තර ගතව ඇතිවන විවිධ අහිතකර අභිප්‍රේරණ වලින් සිත නිදහස් කරගැනීම මේ අවබෝධයේ ඇති ප්‍රධානතම උපයෝගීතාවයි.එසේම එසේ නිදහස්වීම තාවකාලිකව එම අභිප්‍රේරණ යටපත් කිරීම මඟින් ලැබිය හැකි නිදහස නොවේ.එය ස්ථිර සාර නිදහසකි.ඒ නිදහස යළි කිසිම අයුරකින් වෙනස් නොවේ.එහි අකම්පෙය්‍ය ස්වභාවයක් ගැබ්ව පවතී.සාමාන්‍යයෙන් කෙනෙකුගේ සිතට සතුට ඇතිවන ක්‍රමවේද ‍බොහෝ‍වේ. සතුට සිත අභ්‍යන්තරයේ ඇතිවන අභිප්‍රේරණයකි.අයහපත් ආකල්ප අරමුණු වීමෙන්ද සතුට ඇතිවේ.එසේම යහපත් ආකල්ප අරමුණුවීමෙන්ද සතුට ඇතිවේ.විදර්ශනාවේදී සිතින් ඉවත් කරනුයේ යහපත් ආකල්ප අරමුණු වීමෙන් ඇතිවන සතුට නොවේ.අයහපත් ආකල්ප අරමුණුවීම නිසා ඇතිවන සතුට පමණක් විදර්ශනා භාවනාව මඟින් සිතින් ඉවත්කර හැරේ.මඟඵල අවබෝධය ලබා සිතේ ක්ලේශ දුරුකළ උතුමෙකුට වුවද යහපත් ආකල්ප අරමුණු වීමෙන් ඇතිවන සතුට ඇති වේ.ඒ උතුමාගේ සිතේ නැතිවනුයේ අයහපත් ආකල්ප මුල්වීමෙන් ඇතිවන සතුට පමණි.ඒ නිසාම මෙහිදී සිදුවනුයේ සිතේ සියළු අභිප්‍රේරණම ඉවත්වයාම බව වරදවා නොවටහා ගත යුතුය.යහපත හා අයහපත අතර වෙනස හඳුනාගනු ලබන්නේ බුද්ධිය හා ප්‍රඥාව මඟිනි.මෙහිදී සිදුවනුයේ බුද්ධිය හා ප්‍රඥාව වර්ධනය කරවීමයි.එවිට බුද්ධිය මඟින් අයහපත නිවැරදිව හඳුනාගෙන සිතින් ඉවත්කර දැමේ.වඩාත් නිවැරදිව පැවසුවහොත් මෙහිදී සිදුවනුයේ නිවැරදිව හඳුනාගැනීම පමණකි.ඉවත්කර දැමීමට කිසිදු අනවශ්‍ය ආයාසයක් මෙහිදී නොගැනේ.යමක සත්‍ය ස්වභාවය වටහාගත් පසු එයින් ඉවත්වීමට අමුතු ආයාසයක් අනවශ්‍යය. ගිනි සිළුවකට අත ළංකළ විට පිළිස්සෙන ස්වභාවය ඇති බව වටහාගත් වි‍ට එය ඇල්ලීමෙන් වැළකිය යුතුබව කෙනෙකුට අමුතුවෙන් කියාදිය යුතු නැත.ඒ පරිදි දාර්ශනික අවබෝධය ලැබීම සමඟම සැබෑව ව්‍යාජයෙන් වෙන්කර නිවැරදිව හඳුනාගැනීමේ ශක්තිය ඇතිවේ.මාර්ගඵල අවබෝධය යනුවෙන් හැඳින්වෙනුයේ මේ තත්වයයි. සමථ විපස්සනා වශයෙන් අවබෝධය කරා යන ක්‍රමවේදය භාවනා ක්‍රම දෙකකට අන්තර්ගතකර දක්වා ඇති අතර කෙළෙස් ධර්මවල තදඞ්ග, විෂ්කම්භන ආදී දෙයාකාර ප්‍රහාණය ද පෙන්වා දී තිබේ. එසේම කෙළෙස්වල වීතික්කම, පරියුට්ඨාන හා අනුසය යන මට්ටමින් ද අතිශය ක්‍රමානූකූල ආකාරයට ප්‍රහාණය කර දැමිය හැකි පිළිවෙල ප්‍රකාශයට පත් වී තිබේ. [xvii]

පූර්ණ අවබෝධය කෙතරම් ගැඹුරුද යත් එය එක්වරම කෙනෙකුට ශාක්ෂාත් කරගැනීම පවා දුෂ්කරය.මේ නිසා ඒ පූර්ණ අවබෝධය පත්වීමේ අවස්ථාව දක්වා මට්ටම් සතරක් පසුකරමින් යා යුතුබව දැක්වී තිබේ.මාර්ගඵල සතරකින් යුතුව ආර්ය මාර්ගය දැක්වී ඇත්තේ එබැවිනි.පළමුව දුරු කරනුයේ දෘෂ්ටියට සම්බන්ධ අයහපත් ආකල්පයි.දෙවන මාර්ගඵලයේදී ආශාව හා ද්වේෂයට සම්බන්ධ අයහපත් ආකල්ප තරමක් දුරට අඩුකරනු ලැබේ.තෙවන මාර්ගඵලයේදී අඩුකළ ආකල්ප සම්පූර්ණයෙන්ම දුරුකරනු ලැබේ.එසේම සිව්වන මාර්ගඵලයේදී මම යන ආකල්ප බිහිවීමට හේතු වූ අයහපත් ආකල්ප සියල්ල සම්පූර්ණයෙන්ම දුරුකරනු ලැබේ.මෙහිදී ඒ පියවර අනුපිළිවෙළකට දක්වා ඇත්තේ සත්ව චිත්ත සන්තානයේ ඇති අයහපත් ආකල්ප සිත තුළ ඇතිවන තීව්‍රතාව අනුව එය ඉවත් කිරීමට හැකි පියවර අනුවය.මෙහිදී ඕනෑම සත්ව චිත්ත සන්තානයක දෘෂ්ටි සම්බන්ධවූ අයහපත් ආකල්ප ඇලීම හා ගැටීම සම්බන්ධ අයහපත් ආකල්පවලට වඩා පහසුවෙන් ඉවත්වනබව පෙනේ.එසේම එහි අවස්ථා දෙකක් ඇත.සෝවාන් මාර්ගයෙන් ඉවත්වනුයේ මමත්වය සම්බන්ධවූ ඕලාරික අයහපත් ආකල්ප කොටසයි.මෙය සක්කාය දිට්ඨිය ප්‍රධාන කොට ඇති විචිකිච්ඡාව හා සීලබ්බත පරමාස යන සෙසු සංයෝජන මඟින් නිරූපණය වේ.නමුදු අර්හත්ව දක්වා තව අණු සහගත මමත්වය සම්බන්ධ සියුම් අයහපත් ආකල්ප කොටසක් පවතී.එය සම්පූර්ණයෙන්ම දුරුවී යනුයේ අර්හත්ව මාර්ගඵලයේදීය.එය අස්මි මානයට සම්බන්ධ සංයෝජන කොටස්ය.ද්විතීය හා තෘතීය මාර්ගඵල ඇලීම හා ගැටීමට සම්බන්ධව ඇති ඕලාරික හා සියුම් අයහපත් ආකල්ප අවස්ථා නිරූපණය කෙරේ.ඇලීම හා ගැටීමට සම්බන්ධ ඕලාරික අයහපත් ආකල්ප අඩුවනුයේ සකෘදාගාමී මාර්ගඵල අවස්ථාවේදීය.එහිම සියුම් අවස්ථාව අනාගාමී අවස්ථාවයි.එහිදී මුළුමනින් ඇලීම,ගැටීම යන අයහපත් ආකල්ප දුරුවේ.[xviii]

පිරිසිදු ධර්මය පැතියද, එම ධර්මය හා මානව සංජානන පැතිකඩ අතර පරතරයක් පවතී. බුදුදහම හා මානව සංජානන පැතිකඩ අතර පවතින මේ පරතරය බුදුදහම සජීවීලෙස පැවති යුගයට සාපේක්ෂකව අනුක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.දැනට වසර දහස් ගණනක් ගතවී ඇති මෙකල එහි පරතරය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී තිබේ.බුදුදහම හැකිතාක් නිවැරදිව අර්ථගැන්වීම පිණිස රචනා කරන ලද අට්ඨකථා, ටීකා, ගැටපද වැනි අර්ථ විවිරණ ග්‍රන්ථවලින් සංජානන පරතරය හැකි තාක් දුරට අඩුකිරීමට සෑහෙන පරිශ්‍රමයක් දරා තිබේ.නමුදු මෙලොව සෑම දෙයක්ම අනිත්‍යය. එම සනාතන ධර්ම නියාමය බුදුදහමේ සජීවිබව සම්බන්ධයෙන්ද වෙනස් නොවේ. බොහෝකල් ගතවී යාමේදී ව්‍යවහාර කරන භාෂාව වෙනස් වේ. මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වේ.අවබෝධ ශක්තිය අඩුවේ.ස්මරණය දුබලවේ.ආධ්‍යාත්මික හැකියාව අඩුවන අතර ඊට සාපේක්ෂව භෞතික හැකියාව දියුණු වේ.වර්තමානයේ මිනිසුන්ගේ අධ්‍යාපන රටාව මුළුමනින්ම හැඩගැසී ඇත්තේ භෞතිකද්‍රව්‍ය ලෝකය ග්‍රහණය කරගන්නා අයුරිනි.දේශනා මාධ්‍ය පමණක් භාවිතා කර උසස් අවබෝධයක් ඇති වන අයුරින් පෙළ ගස්වා ඇති සූත්‍ර දේශනාතුළ ගැබ්ව පැවති අවබෝධ ශක්තිය එසේම ලබාගැනීම වර්තමානයේ කළ හැකි මට්ටමක පවතින්නේදැයි විමසීම වැදගත්ය. එසේවීමට නම් පළමුව සිතීම ඊට අනුරූපව පෙළගැස්විය යුතුය.ආකල්ප,රුචිඅරුචිකම් සියල්ල පවතිනුයේ ධර්මාව‍බෝධය ඇති වන දිශාවට නොවීම මේ කාර්යභාරය වඩාත් අසීරු කරවීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැක.ඒ සඳහා විසඳුම වනුයේ මිනිසුන්තුළ මූලිකව දර්ශන සම්පත්තිය ඇතිකිරීමයි.මඟ නොමඟ වටහාගත හැක්කේ නිවැරදි දර්ශනය ඇතිවිටය.සෝවාන්වීම යනු අර්හත්වය කරා පැමිණියහැකි නිවැරදි මඟ වටහාගැනීමයි.මේ සදහා පුද්ගලයෙකුතුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම අවශ්‍යය.ආකල්ප යථා තත්වයට පත්කරගැනීමතුළින් පසුකාලීනව ඉතිරි වැරදි අඩුපාඩුද නිවැරදි කරගැනීමට හැකිවේ. සක්කාය දිට්ඨි, සීලබ්බත පරමාස හා විචිකිච්ඡා යන සංයෝජන ධර්ම තුනේ ප්‍රහාණවීම මත යමෙකුට මුලික වශයෙන් ආර්යභූමියට ප්‍රවේශ විය හැකිය.[xix]එය ධර්මාවබෝධයෙහි මූලික අවස්ථාවයි. සෙසු අවබෝධයන්ට මේ ප්‍රවේශ වීම වැදගත් වේ.

සූත්‍රදේශනා නම් බුදුරදුන් ධරමාන කාලයේදී විවිධ පුද්ගලයින්ට ඒඅයගේ විවිධ සංජානන හැකියාව අනුව බුදුදහමින් නිර්දේශිත පරමාර්ථ අව‍බෝධයට පැමිණීම පිණිස දේශිත උපදේශනයි. තත් යුගයෙහි ඒවායේ අර්ථ නිසි ලෙස අවබෝධ කරගත හැකි මට්ටමක එකල භාෂා ව්‍යවහාරය පැවතින.නමුදු එම සූත්‍රදේශනා දේශනා කර දැනට වසර දහස් ගණනක් ඉකුත්ව ගොසිනි.එකලදී හුදෙක් දේශනාව අසා ධාරණය කරගැනීම හා කඩපාඩම්කර පවත්වා ගැනීම මඟින් මැනවින් සංරක්ෂණය විය. එසේම එය ගුරුකුල වශයෙන් පරම්පරානුගතව පවත්වා ගැනීම මිස,ලිඛිතව සටහන් කරතැබීමක් ක්‍රියාත්මක නොවින.එබැවින් සූත්‍රදේශනාතුළවූ බොහෝ සජීවී ස්වරූපය බුදුරදුන් ධරමාන යුගයට වඩා අනුක්‍රමයෙන් අඩුවී යන්නටවීම ස්වභාවික දෙයකි.මේ තත්වය අභිධර්ම දේශනාවලට වඩා සූත්‍ර පිටක පහේ අන්තර්ගත සූත්‍රදේශනාවලට වඩා තදින් බලපා තිබේ.මෙයට හේතුව අභිධර්ම දේශනාවලට වඩා බහුලව සාමාන්‍ය ජනතාව අතර මේ සූත්‍රදේශනා ප්‍රා‍යෝගිකව හා බහුලව ව්‍යවහාරවීමය.එසේම සම්මුති දේශනාවන්හි  පැවති ස්වරූපය අනුව වඩා ප්‍රකටව ධර්මාවබෝධය කරා පැමිණීමට සූත්‍රදේශනා මහත් උපකාරයක් වූ බැවිනි.ධර්ම රසය විඳගැනීමට රුචි නම් එතරම් ගැඹුරු අවබෝධයක් නැතිව වුවද ශ්‍රී සද්ධර්මය නමැති මහසයුර වෙත පළමුවෙන් ප්‍රවේශවීමට සූත්‍රදේශනා සලසා ඇත්තේ විශාල අනුබලයකි. සූත්‍ර දේශනා මඟින් ධර්මය සියල්ලන්ට අවබෝධ කරගත හැකි මට්ටමෙන් විවෘතකර දක්වා තිබේ. යම්කිසි පුද්ගලයෙකු එසේ දක්වන ලද ධර්මය මැනවින් අවබෝධ කරගන්නේ නම් ධර්මානූසාරීව ශ්‍රද්ධානුසාරිව නිවන් අවබෝධය කරා පැමිණිය හැකි බව ද පෙන්වා දී ඇත. [xx]

 

පාදක සටහන්

[i]         යො ච භික්ඛවෙ තථාගතං වා තථාගත සාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො-එතදානුත්තරියං භික්ඛවෙ දස්සානානං

අංගුත්තර නිකාය iv, අනුත්තරිය සුත්ත, බු. ජ. ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර, කොළඹ, 2001, පි.74

[ii]         කතඤ්ච භික්ඛවෙ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤරාධනා හොති.ඉධ භික්ඛවෙ සද්ධා ජාතො උපසංකමති.උපසංකමන්තො පයිරුපාසති.පයිරුපාසන්තො සොතං ඔදහති.ඔහිත සොතො ධම්මං සුණාති. සුත්වා ධම්මං ධාරෙති. ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති. අත්ථ උපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති. ධම්ම නිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති.ඡන්දජාතො උස්සහති.උස්සහිත්වා තූලෙකි.තුලයිත්වා පදහති.පහිතත්තො සමනො කායෙ‍නවෙව පරමං සච්චං සච්ඡිකරොති.පඤ්ඤාය ච නං පටිවිජ්ඣ පස්සති.

මජ්ඣිම නිකායii, කීටාගිරි සුත්ත,බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර, කොළඹ, 2001, පි.248

[iii]        ඉධ ගහපති අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො.. ධම්මෙ..සංඝෙ..අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති.

සංයුක්ත නිකායii, පංචභයවෙර සුත්ත,බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.108

[iv]        සෙය්‍යථාපි භාරද්වාජ, අන්ධවෙණී පරම්පරා සංසත්තා පුරිමොපි න පස්සති. මජ්ඣිමො’පි නපස්සති.පච්ඡිමො’පි නපස්සති.එවමෙව ඛො භාරද්වාජ අන්ධවෙණු පමං මඤ්ඤෙ බ්‍රාහ්මණානං භාසිතං සම්පජ්ජති.පුරිමො’පි න පස්සති. මජ්ඣෙමො’පි න පස්සති, පච්ඡිමො’පි න පස්සති. තං කිං මඤ්ඤසි භාරද්වාජ න’නු එවං සන්තෙ බ්‍රාහ්මණා අමූලිකා සද්ධා සම්පජ්ජති.

මජ්ඣිම නිකාය ii, චඞ්කී සූත්‍රය, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.656

[v]         ඉධ ගහපති අරිසාවකො බුද්ධෙ අවෙච්චප්සසාදෙන සමන්නාගතො හොති…ධම්මෙ අවෙච්චප්පසාදෙන …සංඝෙ අවෙච්චප්පසාදෙන..අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති… ඉමෙහි චතූහි සොතාපත්ති අංගෙහි සමන්තාගතො හොති.

සංයුක්ත නිකාය ii, පංචභයවෙර සුත්ත,බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.750

[vi]        සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පතෙ ආසවානං ඛයඥාණාය චිත්තං අභිනින්නාමෙති: ‍සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති තථාභූතං පජානාතිථ අයං දුක්ඛනි‍රොධොති යථාභූතං පජානාති,අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධාති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ධීණා ජාති, වුසිතා බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. සෙය්‍යථාපි භික්ඛවෙ පබ්බසඞ්ඛෙපෙ උදකරදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි, තස්ස එවමස්ස: අයං ඛො උදකරභදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්‍රිමෙ සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි මච්ඡගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපී’ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානිති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරෝධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුද‍ොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති.

මජ්ඣිම නිකාය i, මහාඅස්සපුර සූත්‍රය, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.648

[vii]       දීඝ නිකාය i, බුද්ධ ජයන්ති  ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව,ශ්‍රී ලංකා ජනරජ ප්‍රකාශනය,කොළඹ,2000,පි.220

[viii]       මජ්ඣිම නිකාය ii, බුද්ධ ජයන්ති  ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව,ශ්‍රී ලංකා ජනරජ ප්‍රකාශනය,කොළඹ,2000,පි398 හා

-එම- පි 430

[ix]        මජ්ඣිම නිකාය iii, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ,2000,පි 432

[x]         -එම- පි 444

[xi]        -එම- පි 496

[xii]       කස්ස නු ඛො නාම ත්‍වං මොඝපුරිස මයා එවං ධම්මා දෙසිතං අජානාසි? තනු මයා මොඝපුරිස ආ‍නෙකපරියායෙන පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස මහ්භවොති. අථ ච පන ත්‍වං මොඝපුරිස අත්තනා දුග්ගහීතෙන අම්හෙ වෙව අබ්භාවික්ඛසිථ අත්තානඤ්ච භණසි, බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.

මජ්ඣිම නිකාය i, මහාතණ්හාසඞ්ඛය සූත්‍රය, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.606

[xiii]       එතං භගවතා බාරණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කපත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුණාවා කනචි වා ලොකස්මිං

සංයුක්ත නිකාය v(ii), ධම්මචක්කපවත්තන සුත්ත, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි. 274

[xiv]       සංයුක්ත නිකාය v(ii), ධම්මචක්කපවත්තන සුත්ත, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි. 272

[xv]       චෙතනා’හං භික්ඛවෙ කම්මං වදාමි.චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා

අංගුත්තර නිකායiv, නිබ්බේධික සුත්ත,බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි. 208

[xvi]       සුමංගල විලාසිනී, හේවාවිතාරණ මුද්‍රණය,පි.394-398

[xvii]      ඉධාවුසො භික්ඛු සමථ පුබ්බංගමං විපස්සනං භාවෙති. තස්ස සමථ පුබ්බංගමං විපස්සනං භාවයතො මග්ගො සඤ්ජායති.සො තං මග්ගං ආසෙවති. භාවෙති. බහුලීකරොති තස්ස තං මග්ගං ආසෙ‍වකො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති අනුසයා ව්‍යන්තී  හොන්තී.

අංගුත්තර නිකාය ii, අරහත්තපත්ති සුත්ත,බු. ජ.  ත්‍රි. ග්‍ර. මා, ශ්‍රී ල. ජ. ප්‍ර, කොළඹ, 2001, පි. 304

[xviii]     එවමෙව ඛො ආවුසො සීලවිසුද්ධි යාවදෙව චිත්තවිසුද්ධත්ථා. චිතවිසුද්ධි යාවදෙව දිට්ඨිවිසුද්ධිත්ථා.දිට්ඨිවිසුද්ධි යාවදෙව කඞ්ඛාවිතරණවිසුද්ධත්ථ.කඞ්ඛාවිතරණවිසුද්ධි යාවදෙව මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිත්ථා. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි යාවදෙව පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථා. පටිපදාඤාණදස්සනවිසුද්ධි යාවදෙව ඤාණදස්සනවිසුද්ධත්ථා. ඤාණදස්සවිසුද්ධි යාවදෙව අනුපාදාපරිනිබ්බාත්ථා. අනුපාදාපරිනිබ්බානත්ථං ඛො ආවුසො භගවති බ්‍රහ්මචරියං වුස්සනීති.

මජ්ඣිම නිකාය i, රථවිනීථ සූත්‍රය, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.370

[xix]       එවං ස්වක්ඛාතො භික්ඛවෙ මයා ධම්මා උප්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො.එවං ස්වක්ඛාතෙ භික්ඛවෙ මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නලොතිකෙ යෙසං භික්ඛූනං තීණි සංයොජනානි පහීනානි, සබ්බෙ තෙ සොතාපන්නො අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායනා.

එවං ස්වක්ඛාතො භික්ඛවෙ මයා ධම්මො උත්තානො විවටො පකාසි‍තො ඡින්නපිලොතිකො. එවං ස්වක්ඛාතෙ භික්ඛවෙ මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ යෙ තෙ භික්ඛු ධම්මානුසාරිනො සද්ධානුසාරිනො සබ්බෙ සම්බොධිපරායනා.

මජ්ඣිම නිකාය i, රථවිනීථ සූත්‍රය, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.354

[xx]       එවං ස්වක්ඛාතො භික්ඛවෙ මයා ධම්මො උත්තානො විවටො පකාසි‍තො ඡින්නපිලොතිකො.එවං ස්වක්ඛාතෙ භික්ඛවෙ මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡනිනපිලොතිකෙ යෙ තෙ භික්ඛු ධම්මානුසාරිනො සද්ධානුසාරිනො සඞ්ඛෙ තෙ සම්බොධිපරායනා.

මජ්ඣිම නිකාය i, වම්මික සූත්‍රය, බු. ජ.  ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර,කොළඹ, 2001, පි.354

ශ්‍රී ලංකා ගාර්ඩියන්