“ෆේක් නිව්ස්” (Fake News) සහ ජාතික ආරක්ෂාව

දුක, සතුට මෙන්ම කුතුහලය ජනිත කරනු ලැබූ සිදුවීම් රාශියක් ඔස්සේ රටේ ජාතික ආරක්ෂාවට අදාළ ක්ෂේත්‍රයන් තවත් සතියක් ගෙවා දැමීය. එසේම, ඉදිරි සති කිහිපයෙන් පසු යළිත් නව පත්වීම් මෙන්ම තවත් බොහෝ දෑ සිදුවීමට නියමිතය.


නිලන්ත ඉලංගමුව

ව්‍යාජ පුවත් හෙවත් සැලසුම් කරනු ලැබූ “ෆේක් නිව්ස්” නිර්මාණය කිරීම දේශපාලනික වශයෙන් කෙතරම් වැදගත්ද යන්න මේ වන විට මෙරට පමණක් නොව මුළු ලෝකය තුළම ප්‍රභල භූමිකාවක් සිදුකරන කාරණය වේ. ඊට විශාල ඉතිහාසයක් තිබේ.

වඩාත් ප්‍රචලිත “හඳ ගැන මහා වංචාව” ( ග්‍රේට් මූන් හෝක්ස්) ලෝකයේ ප්‍රභල අවදානයක් දිනාගත් ඓතිහාසික ව්‍යාජ පුවත ලෙස හැඳින්වේ. නිව් යෝර්ක් සන් නමැති පුවත්පතට අනුව බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට තාරකාවිද්‍යාඥයකු වූ ජෝන් හෙර්ස්චෙල් දකුණු අප්‍රිකාවේ අධ්‍යාපන චාරිකාවක නියැලෙමින් දකුණු අහස නිරීක්ෂණය කළ අතර ඒ සඳහා ඔහු අතිවිශාල දුරේක්ෂයක් භාවිතා කොට ඇත. අදාළ දුරේක්ෂයෙන් නිරීක්ෂණය කළ ආකාරයට හඳේ සතුන්, ගංගා, ඇළදොළ මෙන්ම, වවුලන්ගේ පිහාටු සහිත මිනිසුන් ආදී දෑ සිටින සහ ජීවත්වන බව සඳහන් කළේ යැයි පුවත්පත වැඩිදුරටත් ප්‍රසිද්ධ කළේය. 1835 අගෝස්තු 25 කලාපේ ප්‍රසිද්ධ කරනු ලැබූ මෙම කාරණය ලෝකය පුරා පැතිර ගියේ සත්‍යය කාරණයක් ලෙසය. එවැනි පුවතක් ප්‍රසිද්ධ වී ඇති බව ජෝන් හෙර්ස්චෙල් නොදැන සිටි බව පසුව වාර්තා විය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයි.එස්. තර්ජන තිබේද?

ඒ අනුව පෙනී යන්නේ, ව්‍යාජ පුවත් දේශපාලනික වශයෙන් මෙන්ම විවිධාකාර හැඩතල වලින් සමාජයට විශාල බලපෑමක් කරන ආකාරයයි. මෙරට වත්මන් තත්වය සැලකීමේදීද, දක්නට ලැබෙන ප්‍රධාන කාරණාවලින් එකක් ලෙස මෙය හැඳින්වීමේ වරදක් නැත. මීට සම්බන්ධ වඩාත් බිහිසුණු පුවතක් මීට දින කිහිපයකට පෙර වාර්තා විය. එනම්, ඉස්ලාමීය “රාජ්‍යය” ( අයි.එස්.) ත්‍රස්තවාදීන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම සඳහා සැලසුම් කොට ඇති බවයි. අදාළ සැලසුමට අනුව රත්මලාන ගුවන්තොටුපලින් පැහැරගනු ලබන ගුවන් යානයක් යොදාගනිමින් අදාළ තානාපති කාර්යාලයට පහරදීම සඳහා ත්‍රස්තවාදීන් කටයුතු කරමින් සිටිති.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරංචිමාර්ග වලට අනුව මෙන්ම ඉහල පෙළේ ආරක්‍ෂක අංශ වලට අනුව මෙම පුවත ඉතාම සූක්‍ෂම ආකාරයෙන් නිර්මාණය කළ ව්‍යාජ එකකි. එවැනි, තත්වයක් නිර්මාණය කිරීමෙන් රටේ ආරක්ෂාව විශාල අර්බුදයකට ලක් වී ඇති බව පෙන්වීමට සහ සතුරු කඳවුරුවලට නව මානයක් ලබා දීමට හැකියාව ලැබේ. එසේම, එවැනි පුවතක් ඔස්සේ වත්මන් ආණ්ඩුව අස්ථාවර යැයි පෙන්වීමට හැකි වටපිටාවක් නිර්මාණය කළ හැකිය. එපමණක් නොව රටේ ජනකොටස් අතර අන්තවාදී සහ වර්ගවාදී බෙදීමක් සඳහා අවශ්‍යය පසුබිම නිර්මාණය කළ හැකිවේ.

මෙරට තුළද, ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම සමාජයේ විවිධ තලයන් වලින් සිදුවන බව අදාළ පුවත් දෙස බැලීමේදී වටහා ගැනීම අපහසු නැත. යමෙකු බරපතළ දේශපාලන වුවමණා එපාකම් සපුරාගැනීම සඳහා ඒවා නිර්මාණය කරන අතර තවකෙකු තමන්ගේ කෙටිකාලීන මූල්‍යය අවශ්‍යතාවය සඳහා අදාළ පුවත් නිර්මාණය කරනු ලබයි.

මෙවැනි වටපිටාවක් හමුවේ ව්‍යාජ පුවත් විසින් සමාජයට කරන බලපෑම සුළුකොට තැකිය නොහැකිය. මීට ඇති විසඳුම කුමක්ද? සමාජ ජාලා මර්ධනය කිරීමෙන් හෝ විරුද්ධ මත යටපත් කිරීමෙන් මෙවැනි දෑ නවතා දැමිය නොහැකිය. ඒ සඳහා ජනතාවට පිළිගත හැකි මෙන්ම සමාජය හමුවේ යුක්තිසහගත කළ හැකි වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතුව ඇත. එය වත්මන් තත්වය හමුවේ මුළු රටම මුහුණ දී සිටින බරපතළ අවශ්‍යතාවයකි.

කුමන දේශපාලන මතවාදය දැරුවද, වැදගත් වන්නේ ප්‍රචණ්ඩත්වය මූලික කරගත් වටපිටාවකට තල්ලුකොට අහිංසක ජනතාව එහි ගොදුරු බවට පත්කිරීම හෝ රට ආපස්සට ඇද දැමීම නොවේ. එහි වගකීම සියලු පාර්ශවයන් වෙත පැවරෙන මූලික කාරණයකි. ව්‍යාජ පුවත් ඔස්සේ සිදුකරන සමාජ නොසන්සුන්කාරී තත්වයට විසඳුම් අත්‍යවශ්‍යය වන්නේ මේ නිසාය.

යළිත් රට හිංසනයකට තල්ලු කොට එකිනෙකාගේ පටු අවශ්‍යතාවයන් සපුරාගැනීමේ තැනට තල්ලු නොකළ යුතුය.

මේ අතර ගෙවී ගිය සතියේදී රටේ ආරක්‍ෂක ක්ෂේත්‍රය තුළ සිදු වූ දෑ රාශියකි. උතුරේදී දෙමළ ජාතික තරුණයෙකු පොලිස් වෙඩිතැබීමෙන් මරණයට පත්වීම, නව යුදහමුදාපතිවරයා චාරිත්‍රානුකූලව සිදුකරන මූලික කටයුතු මෙන්ම නාවික හමුදාවේ හිටපු මාධ්‍යය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගැනීම ආදීය රටේ ජනමාධ්‍යය අඩුවැඩි වශයෙන්ය මූලික අවදානය යොමුකළ සිදුවීම් වේ.

කෙසේ වෙතත්, උතුරේදී පොලිස් වෙඩිපහරින් මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් බොහෝ මාධ්‍යය එතරම් අවදානයක් යොමු නොකළද එය රටින් එපිට සිට ක්‍රියාත්මක වන ඇතැම් මාධ්‍යය පොලිසියේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කොට තිබුණි. ලන්ඩන් සිට ප්‍රසිද්ධ කරන “ටැමිල් ගාර්ඩියන්” පුවත්පත අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතුවැකියක් ඉදිරිපත් කළ තිබුණි. “දූපතේ වෙසෙන දෙමළුන් මරණයේදී පවා අසමානයි”, යැයි අදාළ කතුවැකියේ සඳහන් කොට තිබුණි. එසේම, ඝාතනයට ලක් වූ පුද්ගලයා නිතීවිරෝධිව වැලි ගොඩ දමන්නෙක් වුවද, වෙඩි ප්‍රහාරයට ලක්වන අවස්ථාව වන විට නිරායුධව සිටි අයෙකි යැයි, අදාළ කාරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ මාධ්‍යය වාර්තා සඳහන් කරනු ලැබීය. මෙය කිසිවෙකුගේ හෝ වුවමණාවට සිදු වූයේද? යන්න සොයා බැලීම පමණක් නොව එවැනි දෑ යළි සිදුනොවීම සඳහා කඩිනම් පියවර ගැනීම වැදගත් වේ. මන්ද, මෙවැනි දෑ වලින් රටට උරුම වන අපකීර්තිය සුළුපටු නොවේ.

යුදහමුදාපතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා කවුද?

මේ අතර යුදහමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ‍ මහේෂ් සේනානායක මහතා නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු පළමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, දෙවනුව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සහ තෙවැනුව රාජ්‍යය ආරක්‍ෂක අමාත්‍යය රුවන් විජේවර්ධන මහතා හමුවිය. ජනාධිපතිවරයා සමඟ පැවති කතාබහ ගැන යුදහමුදා වෙබ්අඩවිය වාර්තාකොට තිබුණේ මෙසේය;

“ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් වැඩිදුරටත් කරණු දක්වමින් ජාතික සමගිය, ජාතික සංහිඳියාව සහ සමාජයේ වේගවත් ලෙස වෙනස්වන සමාජ ප්‍රතීසංස්කරණයන් සම්බන්ධව පවත්නා ගැටලු සහ සංවර්ධන ප්‍රයත්න්‍යන් සඳහා යුදහමුදාව නව්‍යකරණය කිරීම වෙනුවෙන් සිදු කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ තම අභිප්‍රායන් අතිගරු ජනාධිපතිතුමා වෙත දැනුම් දෙනු ලැබීය.”

“එමෙන්ම, යුද්ධ හමුදාවේ 1/3 ක් යුද්ධමය කටයුතු සඳහා ද අනෙක් 1/3 ජාතිය ගොඩනැගිම සඳහා ද ඉතිරි 1/3 යුද්ධ හමුදාවේ පාලන කටයුතු සඳහා ද යෙදවිමට තමන් අදහස් කර සිටින බවද අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කරනු ලැබීය.” මෙය නවමු අත්හදා බැලීමකි. තම ආයතනය තුනකට බෙදා ඉන් එක් කොටසක් පමණක් යුද්ධමය කටයුතු සඳහා යොමු කිරීම රටට මෙන්ම කලාපයට නව අත්දැකීමක් ලෙස හැඳින්වීමේ වරදක් නොමැත.

එසේම අග්‍රාමාත්‍යයවරයා සමඟ පැවති සාකච්ඡාව අවසානයේ යුදහමුදා මාධ්‍යය අංශය විසින් නිකුත් කළ නිල නිවේදනයේ මෙසේ සඳහන් විය.

“සාකච්ඡාව අතරතුර දී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් යුද්ධ හමුදාවේ සියලු නිලයන්හි වෘත්තීය මට්ටම ඉහළ නංවමින් වත්මන් යුද්ධ හමුදා භට පිරිස් හැකියාවන් පදනම් කරගත් කණ්ඩායමක් බවට පරිවර්ථනය කිරීම ගැන ද ඔවූන් නිරන්තරයෙන් වෙනස් වන ‍ගෝලීය ආරක්ෂක අභියෝගයන් සඳහා මුහුණදීමට හැකිවන අයුරින් හැඩගැස්වීම ගැන ද අගමැතිවරයා වෙත දැනුම් දී සිටියේය.”

“එහිදි යුද්ධ හමුදාවේ සෑම සාමාජිකයෙකුගේම පුහුණුවිම්වල ඇති වැදගත්කම අවධාරණය කළ අගමැතිතුමා ගෝලීය වෙනස්කම් හමුවේ ජාත්‍යන්තරයේ ඇති තත්වයන්ට මුහුණදිය හැකි වෘත්තීමය සෙබළුන් ඇති කිරීම පිළිබඳව අවධාරණය කළ අතර, නිලධාරීන්ගේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ද එකඟවිය.”

යුද හමුදාවට ව්‍යුහාත්මක වෙනසක් මෙන්ම පරිපාලනමය වශයෙන් යුදහමුදාවේ කටයුතු නීක්ෂණය, විඝණනය සහ වගවීම කළ හැකි ස්වාධීන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය වේ. විශේෂයෙන් ආයතනය තුළ සිදුවන මූල්‍යමය කටයුතු සහ විවිධ සාමාජික-සමාජිකාවන්ට මුහුණදීමට සිදු වූ අතවර සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් අත්‍යවශ්‍යය වේ. එය වෘත්තියමය ගරුත්වයක් ඇතුව ආයතනයට කළ සුවිශාල සේවයෙන් පසු විශ්‍රාම ගිය නිලධාරී-නිලධාරීනියන්ගෙන් සමන්විත වන්නේ නම් එහි ගුණය මෙන්ම බලපෑම ඉතාම යහපත් ආකාරයෙන් සිදුවන්නේය.

මෙම මූලික කාරණා නිවැරදිව සිදුකිරීමට නව යුදහමුදාපතිවරයා සමත්වුව හොත් එය ඔහු විසින් ආයතනයට සිදුකරන සුවිශාල දායාදයකි.

තම පත්වීමෙන් පසු ඔහු හමුවේ පවතින මීළඟ මූලික කාරණය වන්නේ, කාර්යය මණ්ඩල ප්‍රධානී ධූරය සඳහා නිලධාරියෙකු පත්කිරීමය. ඒ සඳහා මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු නිලධාරීන්ගෙන් අයෙකු තෝරා ගැනීමට නියමිතය. තම ධූරය සඳහා පෙළ ගැසී සිටි තරගකරුවන්ගෙන් අයෙකු මීට පත්කොට නවමු සංස්කෘතියක් ඇතිකරන්නේද? නොඑසේනම්, තම හිතවතෙකු ඊට පත්කරන්නේද යන්න, නව යුදහමුදාපතිවරයා මුහුණ දී සිටින මූලික කාරණා වලින් එකක් ලෙස හැඳින්විය හැකිය.

හිටපු නාවිකහමුදා මාධ්‍යය ප්‍රකාශක අත්අඩංගුවට

මේ අතර නාවික හමුදාවේ හිටපු මාධ්‍යය ප්‍රකාශක පසුගියදා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. කප්පම් ගැනීම සඳහා ළමුන් පැහැරගෙනගොස් මරා දැමීමේ අපරාධයට සැකකරුවෙකු ලෙස හෙතම මෙසේ අත්අඩංගුවට පත්විය. තම රාජකාරී කාලය තුළ ඔහු උපයාගත් ධනය සහ එය විසිරීගොස් ඇති ආකාරය ආදී කාරණා රාශියක තොරතුරු, මෙන්ම අදාළ අපරාධ සම්බන්ධයෙන් හෙළිවූ මූලික කාරණා පදනම් කරගනිමින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කොමදෝරු දසනායක මහතාට දැනුම් දී තිබුණේ ගෙවී ගිය සතිඅන්තයේදීය. නමුත් හදිසියේ හෙතම රෝහල්ගත විය. ඔහු අත්අඩංගුවට පත්නොවේ යැයි හෙතම කලපනා කළා විය යුතුය. නමුත් මුහුණ දීමට සිදු වූ ඇත්ත හාත්පසින්ම වෙනස්විය.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ ප්‍රභළ බලපෑමේ එක්පියවරක් ලෙස මෙම සිදුවීම සැලකිය හැකිවුවද, අදාළ සම්පූර්ණ සිදුවීම හේතුවෙන් නාවික හමුදාවට සිදුවූ බරපතළ අපකීර්තිය සුළුපටු නොවේ. එබැවින් මෙවැනි අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටුකිරීමේ මූලික වගකීම මෙන්ම එවැනි දෑ යළි සිදුනොවීමට වගබලා ගැනීම සෑම අයෙකු වෙතම පැවරෙන මූලික වගකීමකි.

ආයතනයේ අතීතය තුළ සිදු වූ දෑ වලින් මුහුණ දීමට සිදුවී ඇති කරදරකාරී වාතාවරණයට සාපේක්ෂව නාවික හමුදාපතිවරයා මෙන්ම ඉහළපෙළේ නිළධාරීන් නව ඉදිකිරීම්, නව පුහුණුවීම්වලට අදාළ උත්සව සඳහා සහභාගී වූ කාර්යය බහුල සතියක් ගෙවී ගියේය. ඉන් එක් අවස්ථාවකදී, මහනුවර ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද වකුගඩු රෝග ශල්‍ය ඒකකය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය.

ඊට හේතුව වූයේ, අදාළ “වකුගඩු රෝග ශල්‍ය ඒකකයේ ස්ථාපිත කොට ඇති වකුගඩු රෝග ප්‍රතිකාර වලදී රුධිර කාන්දුකරණ (Dialysis) ක්‍රියාවලිය සඳහා උපයෝගී කරගන්නා අති පවිත්‍ර ජලය නිපදවිය හැකි යන්ත්‍රය (Ultra Purified Water) නිෂ්පාදනය කරන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් වීමය.”

මේ අතර ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංඥා පාසලේ ඉදි කරන ලද ප්‍රායෝගික පන්ති කාමර විවෘත කිරීම පසුගියදා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් සිදු කෙරිණි.

මේ ආකාරයෙන්, දුක, සතුට මෙන්ම කුතුහලය ජනිත කරනු ලැබූ සිදුවීම් රාශියක් ඔස්සේ රටේ ජාතික ආරක්ෂාවට අදාළ ක්ෂේත්‍රයන් තවත් සතියක් ගෙවා දැමීය. එසේම, ඉදිරි සති කිහිපයෙන් පසු යළිත් නව පත්වීම් මෙන්ම තවත් බොහෝ දෑ සිදුවීමට නියමිතය. වැදගත් වන්නේ, පෞද්ගලික අභිලාෂයන් දිනා ගැනීම සඳහා සිදුකරන කිසිඳු බෙදීමකින් තොරව රටේ මෙන්ම ජනතවාගේ ආරක්ෂාව සහ ජනජීවිතය නගාසිටුවීම වෙනුවෙන් මෙම ආයතන ක්‍රමිකව දියුණු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමය.

ශ්‍රී ලංකා ගාර්ඩියන්

//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({}); //pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({});